කුමන බාධා මධ්‍යයේ  වුව ද  අපට කළ හැකි උපරිම වේගයෙන් රටට විශාල සංවර්ධනයක් සිදුකළා.

මුද්‍රණය

           සංදර්ශනවලින් තොරව සිදුකරන ලද වැඩපිළිවෙල මීටත් වඩා යෝධ සංවර්ධනයක් කරා ගෙනයාමට ශක්තිය ලබා දීම සඳහා හංසයා ලකුණ ඉදිරියේ කතිරය ගසන්නැයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා කුලියාපිටිය කොට්ඨාශයේ පැවැති ජනහමු අමතමින් ප්‍රකාශ කළේය.

          රාජපක්ෂ ආණ්ඩුව අවුරුදු දෙකක් ඉතිරිව තිබිය දි 2015 දී ජනාධිපතිවරණයක් පැවැත්වූයේ ආර්ථිකය බිඳ වැටීම, ජාත්‍යන්තරය හමුවේ කොන් වී සිටීම වැනි  කරුණු හේතුවෙන් බවත් ඒ වනවිට පැවැති සුදු වෑන් සංස්කෘතිය, මාධ්‍යවේදීන් ඝාතනය කිරීම, මාධ්‍ය ආයතන ගිනි තැබීම මෙන් ම ඉහ වහා ගිය දූෂණය හා හොරකම වැනි දේ නිසා ජනතාවට ද වෙනසක අවශ්‍යතාව තදින්ම පැවැති බවත් මහලේකම්වරයා පැවසීය.

           2015 ජනපතිවරණයෙන් පත්කර ගන්නා ලද ජනාධිපතිවරයා නිර්පාක්ෂික වේයැයි කල්පනා කළ නමුත් එසේ නොවූ බවත්, බාධා හා අමාරුකම් මධ්‍යයේ ජාතික ආණ්ඩුවක් නිර්මාණය කරන ලද බවත්,රටට වැදගත් යෝජනාවක් ඉදිරිපත් කර කටයුතු කරගෙන යන විට එය නැවැත්වීමට ක්‍රියා කළ අයත් කැබිනට් මණ්ඩලයේ සිටි බවත් සිහිපත් කළ මහලේකම්වරයා එවැනි බාධා හා දුෂ්කරතා හමුවේ ක්‍රියාකරන විට දී දින 52ක අර්බුදයකට ඇද දැමූ බව ද එය නිරාකරණය කරගැනිමෙන් පසු ඉකුත් හය මාසයේ දී වේගයෙන් වැඩකිරීමට හැකි වූ බව ද ප්‍රකාශ කළේය.

මහලේකම්වරයා මෙසේ ද පැවසීය.

         “ කුමන බාධා ආවත් අපට කළ හැකි උපරිම වේගයෙන් විශාල වැඩකොටසක් ඉටුකර තිබෙනවා. රාජ්‍ය සේවය වැටුප 107% කින් වැඩිකළා. මීට අවුරුදු පහකට පෙර තිබූ බඩු මිලට වඩා අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල සංසන්දනය කර බලන්න. කිරිපිටි, පරිප්පු, සීනි ආදී අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල  මිල  වගේ ම ඩීසල්, පෙට්‍රල්, ගැස් මිල ද 2015 දි අපේ ආණ්ඩුව එන්න පෙර තිබූ මිලට වඩා තවමත් අඩු බව ද මහලේකම්වරයා පෙන්වා දුන්නේය.

“අපට ඇතැම් මාධ්‍යවල මෙතරම් පහර දෙන්නේ ඇයි? ඒ අප ඇති කරන ලද නිදහස නිසයි. ඇතැම් පෞද්ගලික මාධ්‍යවල දේශපාලන පක්ෂවලට හා අපේක්ෂකයන්ට ලබාදෙන වෙලාව කොපමණද? සජිත් ප්‍රේමදාස මහත්මයාට හා රාජපක්ෂ මහත්මයාට දෙන වෙලාව බලන්න. ගෝඨාභයට එක වෙලාවක්. මහින්ද රාජපක්ෂ මහත්මයාට තවත් වෙලාවක්. හැබැයි ඔහු අපේක්ෂකයෙක් නොවේ. පෞද්ගලික මාධ්‍යයට තමන්ගේ වෙනම පෞද්ගලික න්‍යාය පත්‍ර තිබෙනවා. ඔවුන් එහෙම කරන්නේ අප ලබා දුන් නිදහස නිසයි. ඇත්තෙන් ම රාජපක්ෂ යුගයේ එහෙම කළා නම් ජිවිත ගැන පවා ප්‍රශ්නයක් වීමට තිබුණා.

            අධ්‍යාපන අමාත්‍යාංශය පමණක් කරන ලද වැඩ අතිවිශාලයි. මගේ ම සංකල්පයක් වූ ළඟම පාසල- හොඳම පාසල වැඩසටහන මගින් රටපුරා පාසල් 10,000න් පාසල් 9,500 කට වඩා ප්‍රතිලාභ දුන්නා. නව ගොඩනැගිලි 3,000ක් පමණ ලබා දුන්නා. වැසිකිළි  ඒකක 40,000ක් නිම කළා. මේ විදිහට විවෘත කර අවසන් කළ නොහැකි තරමට පාසල්වල ඉදිකිරිම් සිදුකළා. පාසල් දරුවන් හතළිස් පන් ලක්ෂයක් සුරක්ෂා රක්ෂණය මගින් රක්ෂණය කළා. රක්ෂණය වු එම දරුවෙකුගේ මව හෝ පියාගේ ස්වාභාවික මරණයක දී පවා රුපියල් දෙලක්ෂයක් ලබා දෙනවා. ගුරු විදුහල්පති වැටුප් හා දීමනා වැඩිකළා. 

    රුපියල් කෝටි 1750 ක වියදමින් කුලියාපිටියේ ශික්ෂණ රෝහලක් ඉදිකෙරනවා. ඊට පෙර වෛද්‍ය පීඨයක් ආරම්භ කළා. කුරුණෑගල දිස්ත්‍රික්කයට ම විශාල සංවර්ධනයක් හිමිකර දීමට අපට හැකිවුණා. කුරුණෑගල දිසාවේ සංවර්ධනය ආසන දහහතරටම ගිහින් බලන්න. උතුර නැගෙනහිර ඇතුලු රට පුරා ගිහින් බලන්න. මා අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් ලඟම පාසල - හොඳම පාසල වැඩ සටහන යටතේ ලබා දුන් ගොඩනැගිලි, විද්‍යාගාර  ආදී සම්පත් දෙස බලන්න.

             සංදර්ශන නැතිව අප වැඩ පෙන්වා තිබෙනවා. මේ වැඩපිළිවෙල මිට වඩා යෝධ සංවර්ධනයක් බවට පත්කර දීමට ශක්තිය ලබා දීම සඳහා හංසයා ලකුණ ඉදිරියේ කතිරය ගසන්න. එමගින්  හංසයාගේ ජයග්‍රහණයත් සමග ඉදිරි කාලයේ දී ඔබේ ප්‍රදේශයට, කොට්ඨාශයට මදි නොකියන්න සංවර්ධනය ළඟාකර දෙනවා.”