“රටේ අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මකභාවය ඉහළ නැංවෙන්නේ පාසල්වලට ගුරුවරුන් මිසක් ගුරු සහායකයින් බඳවා ගැනීමෙන් නොවෙයි..”

මුද්‍රණය

මෙරට අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මකභාවය ඉහළ නැංවිය හැක්කේ ගුරු සේවා ව්‍යාවස්ථාවට අනුව ගුරුවරුන් බඳවා ගැනීමෙන් මිස, දේශපාලන හිතවතුන් ගුරු සහායකයින් ලෙස බඳවා ගැනීමෙන් නොවන බවත් අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ජයග්‍රහණය කළහොත්, ගම් මට්ටමින් 50,000ක් ගුරු සහායකයින් ලෙස පාසල් පද්ධතිය වෙත බඳවා ගැනීමට කටයුතු කරන බවට පසුගිය දා පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන්  අමාත්‍යවරයා මේ අදහස් පළ  කර සිටියි.

ගුරු සේවා ව්‍යවස්ථාවේ අනුව උපාධිධාරීන්, විද්‍යාපීඨ ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්, සෙසු ඩිප්ලෝමාධාරීන් මෙන් ම උසස් පෙළ සමතුන් ගුරුවරුන් ලෙස බඳවාගැනීමට හැකියාව  පැවතිය දී, උසස් පෙළ සමතුන් ගුරු සහායකයින් ලෙස බඳවා ගැනීමෙන් සිදුවන්නේ පසුගිය වසර කිහිපය තුළ මෙරට අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මකභාවය හෑල්ලුවට ලක්කිරීමක් බව ද, එය මෙරට තරුණ පරපුර මුළා කරමින් ඔවුන්ගේ ඡන්දය සොරාගැනීමට සිදුකරන කූඨ දේශපාලනික ප්‍රයත්නයක් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

2015 වසරේ සිට මේ දක්වා මෑතකාලීන ව මෙරට පාසල් අධ්‍යාපන පද්ධතියට උපාධිධාරීන්, විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන්, සෙසු ඩිප්ලෝමාධාරීන්, සහ උසස් පෙළ සමතුන්   25,000කට ආසන්න පිරිසක් ගුරුවරුන් ලෙස බඳවාගෙන ඇති බව ද, පසුගිය දා පළමු වරට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා ශික්ෂණලාභීන් 8000ක් බඳවාගත් බවත්,  ඒ අනුව තමා ගත් මෙම ක්‍රියාමාර්ග හේතුවෙන් ඉදිරි වසර කිහිපය ඇතුළත මෙරට පාසල් පද්ධතිය තුළ පවත්නා ගුරු හිඟය සම්පූර්ණයෙන් ම තුරන් කිරීමට නියත වශයෙන් ම හැකිවනු ඇති බවත් අමාත්‍යවරයා පවසයි.

පටු දේශපාලන අරමුණු ඉටු කරගැනීම වෙනුවෙන්, ගුරුවරුන් බඳවා ගැනීමේ විධිමත් ක්‍රමවේද මඟහැර, අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මකභාවය හෑල්ලුවට ලක්කරමින් මෙරට ගුරු සේවය වඩාත් ප්‍රශස්ත සේවාවක් ලෙස දිනා සිටින ගෞරවය විනාශ කිරීමට සිහින මැවීම කණගාටුවට කරුණක් බව ද අමාත්‍යවරයා තවදුරටත් කියාසිටියි.