24 වැනි අන්තර් ජාතික තරුණ විද්‍යාඥයින්ගේ තරගාවලියේ ජයග්‍රාහකයින් අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඇගයීමට

මුද්‍රණය

ජර්මනියේ ස්ටුට්ගාඩ් හි 2017 අප්‍රේල් මස 16 දින සිට 22 දින දක්වා පැවැති 24 වන අන්තර් ජාතික තරුණ විද්‍යාඥයින්ගේ තරගාවලිය සඳහා තම විද්‍යාත්මක පර්යේෂණ ඉදිරිපත් කර ජයග්‍රහණ ලබා ගත් කොළඹ නාලන්දා විද්‍යාලයේ රකිඳු වික්‍රමරත්න සහ මන්නාරම සිත්ති විනායගම් හින්දු විද්‍යාලයේ ජිතේන්ද්‍රන් ජූට් සජිත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ විශේෂ ඇගයීමට ලක් වුණා. ඒ, එම ශිෂ්‍යයින් ඇගයීම වෙනුවෙන් අද (18) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති උත්සවයේදී.

මෙවර පැවති අන්තර් ජාතික තරුණ විද්‍යාඥයින්ගේ තරගාවලිය සදහා කොළඹ නාලන්දා විද්‍යාලයේ රකිඳු වික්‍රමරත්න ඉදිරිපත් කළ Deposition of air pollutants on pollen grains and occurrence of respiration allergies among humans නිර්මාණයට එහි දී රිදී සම්මානයක් හිමි වූ අතර, Modification of Microbiology fuel cells via the immobilization of the anaerobe Clostridium butyricum and Escherichia coli-XII blue පර්යේෂණය ඉදිරිපත් කරන මන්නාරම සිත්ති විනායගර් හින්දු විද්‍යාලයේ ජිතේන්ද්‍රන් ජූට් සජිත්ට සහභාගිත්ව සහතිකයක් හිමි වුණා.

මෙම තරගාවලියට සහභාගී වී රටට විශාල කීර්තියක් අත්කර දුන් සිසු දරුවන් අගය කළ අධ්‍යාපන අමාත්‍යවරයා ඔවුන්ගේ ඉදිරි කටයුතු වෙනුවෙන් ද තම සුබ පැතුම් එක් කළා. පාසල් මට්ටමින් පර්යේෂණ සංස්කෘතියක් ඇති කිරීම වෙනුවෙන් “සුභග ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය” පාසල් පද්ධතියට හඳුන්වා දී ඇති බව ද පැවසූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඒ මගින් නවෝත්පාදනයන් හා නිර්මාණාත්මක කුසලතා සහිත සිසුන්ගේ දක්ෂතා තවදුරටත් දිරිමත් කිරීමට අපේක්ෂා කරන බව ද පැවසුවා.

මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් මහතා සහ විද්‍යා ශාඛාවේ අධ්‍යක්ෂ එම්.පී. විපුලසේන මහතා ඇතුළු පිරිසක් සහභාගි වුණා.