යෝජිත ජාතික තාක්ෂණ අධ්‍යාපන විද්‍යා පීඨයට අවශ්‍ය ඉඩම පවරා ගැනේ

මුද්‍රණය

ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතින ලෝකය සමග එකතුවීමටත් මෙරට තුළ නවීන තාක්ෂණික දැනුමින් සන්නද්ධ පිරිසක් බිහිකිරීමත් අරමුණු කරගනිමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් සහ මගපෙන්වීම මත අධ්‍යාපන අමාත්‍යාංශය වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරනු ලබනවා.

එහි එක් පියවරක් ලෙස ප්‍රමුඛ අවශ්‍යතාවක්ව පැවති ජාතික තාක්ෂණ අධ්‍යාපන විද්‍යා පීඨය ස්ථාපිත කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පියවර ගෙන තිබෙනවා. ඒ අනුව යෝජිත ජාතික තාක්ෂණ අධ්‍යාපන විද්‍යා පීඨය කුලියාපිටියේ ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා කුලියාපිටිය නාරංගල්ල පිහිටි ජාතික පශු සම්පත් සංවර්ධන අධිකාරියට අයත් අක්කර 15 ක භූමි භාගයක් පවරා ගැනීමේ කටයුතු ඊයේ(16) විද්‍යාපීඨ කොමසාරිස් කේ.එම්.එච්. බණ්ඩාර මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් හා ජාතික පශු සම්පත් සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කෙරුණා.

2017 වසරේ ජූනි මස වැඩ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති මෙම ව්‍යාපෘතිය 2019 දෙසැම්බර් මස අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය සහ කොරියානු ජනරජයේ KOICA ආයතනයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ජාතික තාක්ෂණ අධ්‍යාපන විද්‍යා පීඨය ඉදි කෙරෙන අතර මේ සඳහා වන සමස්ත ආයෝජනය රුපියල් මිලියන 1911 ක්.