නවදිල්ලි නුවර වෙසක් කළාපය විවෘත කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා ඉන්දියාවට

මුද්‍රණය

ප්‍රථම වරට ඉන්දියාවේ ඉදිකරන ලද වෙසක් තොරණ විවෘත කිරීමට ද නියමිතයි. ඉන්දියාවේ නවදිල්ලි නුවර ඉදිකරන ලද වෙසක් කලාපය විවෘත කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය කාරියවසම් මහතා අද (15) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව ගියා.

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය අසල මෙම වෙසක් කළාපය ඉදිකර ඇති අතර දෙසීයකට අධික පහන් කූඩු සහ වෙසක් සැරසිලිවලින් මෙන් ම දර්ශනීය වෙසක් තොරණකින් මෙය සමන්විතයි. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ වෙසක් තොරණක් ඉන්දියාවේ ඉදිකරණ ප්‍රථම අවස්ථාව මෙය බවයි. මෙම තොරණින් “අංගුලිමාල කථා වස්තුව” නිරූපණය කරන අතර අඩි හතළිහක උසකින් යුක්තව තොරණ නිර්මාණය කර තිබෙනවා. ඒ සඳහා යොදාගෙන ඇති විදුලි බුබුළු සංඛ්‍යාව පහළොස් දහසකට අධිකයි. තොරණේ කථාව ඉදිරිපත් කරන්නේ හින්දි බසිනි. මීට අමතරව බොදු බැති ගී ප්‍රසංගයක් ද පැවැත්වීමට නියමිතයි.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර බුදු දහම මුල්කරගනිමින් ගොඩ නැගී ඇති සබඳතා සුරක්ෂිත කිරීමත්, දෙරටේ සංස්කෘතික හා බෞද්ධාගමික උරුමයන් හුවමාරු කිරීමත් සමගින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීම මෙම වෙසක් කළාපය නිර්මාණය කිරීමේ අරමුණ වී තිබෙනවා.

මෙහි සම්බන්ධීකරණ කටයුතු සිදු කරන්නේ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් චිත්‍රාංගනී වාගීශ්වර මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලයයි.

අද රාත්‍රියේ මෙම වෙසක් කලාපය විවෘත කිරීමේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සමගින් ඉන්දීය සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍ය මහේෂ් ශර්මා, ස්වදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය කිරන් රිජිජු, සමාජ යුක්තිය සහ රැකී රක්ෂා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රාම්දාස් අත්වාලේ ඇතුළු ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක් එක් වීමට නියමිතයි. උත්සවයට සහභාගිවන අමාත්‍යවරුන් තිදෙනා ම බෞද්ධයින් වීම ද විශේෂත්වයක්.