අධ්‍යාපන නිලධාරීන් සඳහා චීනයේ පැවැත්වෙන සම්මන්ත්‍රණයට සහභාගීවන විදුහල්පතිවරුන් 15 දෙනෙකු අධ්‍යාපන අමාත්‍යවරයා හමු වේ

මුද්‍රණය

පාසල් නඟාසිටුවීම වෙනුවෙන් ඇපකැපවී කටයුතු කරන දක්ෂ විදුහල්පතිවරුන් පිරිසක් රට තුළ නිර්මාණය කිරීම සදහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් හා මග පෙන්වීම මත වැඩසටහන් රැසක් අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාත්මක කරමින් සිටින අතර දේශීය මෙන්ම විදේශීය පුහුණු අවස්ථා විදුහල්පතිවරුන් වෙනුවෙන් ලබා දීමට ද අමාත්‍යවරයාගේ උපදෙස් මත අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මැයි මස 11වැනි දා සිට 31 දක්වා චීනයේ Zhejiang ප්‍රාන්තයේ Zhejiang Normal University හි දී පැවැත්වෙන අධ්‍යාපන සම්මන්ත්‍රණයකට (Seminar for Education administrators from developing countries) සහභාගීවීම සදහා දිවයිනෙන් පිටත්ව යන ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණියට පසුගිය වසරේ බඳවාගත් විදුහල්පතිවරුන් 15 දෙනෙකු පසුගිය (09) දා අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මුණ ගැසුණා.

මෙම අවස්ථාවේදී අධ්‍යාපන අමාත්‍යවරයා නවක විදුහල්පතිවරුන් සමග සුහද සාකච්ඡාවක නිරත වූ අතර එහිදී අලුතින් පද්ධතියට බඳවාගත් විදුහල්පතිවරුන් ඇතැම් පළාත් සභා විසින් නිසි පරිදි ස්ථානගත නොකිරීම ඇතුළු ඔවුන් මුහුණ දී තිබෙන ප්‍රායෝගික ගැටලු කිහිපයක් පිළිබඳ අමාත්‍යවරයාට කරුණු දක්වා සිටියා. මෙම ගැටලු සඳහා විසඳුම් ලබා දීමට මේ වන විටත් පියවර ගනිමින් සිටින බව පැවසූ අමාත්‍යවරයා, මෙවැනි පුහුණු වැඩසටහන් මගින් ලබාගන්නා දැනුම හා අත්දැකීම් මගින් විදුහල්පතිවරුන්ට තම වෘත්තීය කටයුතු සංවර්ධනය කරගැනීමට හැකි බව ද පෙන්වා දුන්නා.

පසුගිය වසරේ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණියට බඳවාගත් විදුහල්පතිවරුන් කණ්ඩායම් කිහිපයක් වශයෙන් මේ වන විටත් විදේශ පුහුණු අවස්ථා සඳහා සහභාගි වී තිබෙනවා.

මෙම පුහුණු වැඩසටහන සඳහා පිටත්ව යන විදුහල්පතිවරුන් පිරිස සමගින් සමූහ ඡායාරූපයකට ද අධ්‍යාපන අමාත්‍යවරයා පෙනී සිටි අතර මෙම අවස්ථාවට අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා, අධ්‍යාපන රාජ්‍ය ලේකම් තිස්ස හේවාවිතාන, අතිරේක ලේකම් (පාසල් කටයුතු) අශෝක හේවගේ මහතා ඇතුළු පිරිසක් එක් ව සිටියා.