අවිද්‍යාව විද්‍යාවෙන් ද, අසත්‍ය සත්‍යයෙන් ද මෝහය ප්‍රඥාවෙන් ද ජයගත හැකි සුබ වෙසක් මංගල්‍යයක් වේවා!

මුද්‍රණය

අප මේ සමරන්නේ ශ්‍රී බුද්ධ වර්ෂ 2561 වැනි වෙසක් සැමරුම් උත්සවයයි. ‍සම්බුදු තෙමඟුල සැමරීම අරමුණු කරගනිමින් ලොව පුරා සියලු බෞද්ධ ජනතාව භක්ත්‍යාදරයෙන් සමරන උතුම් වූ වෙසක් දිනය මෙවර ශ්‍රී ලාංකිකයින් වන අපට අතිශයින් වැදගත් වෙයි. එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවය සහ ලෝක බෞද්ධ සමුළුව මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වීම සතුටට කරුණකි.

ජාතික මට්ටමින් ඒ වෙනුවෙන් වෙසක් උත්සව හා සැරසිලි, තොරණ, කූඩු සංදර්ශන ඇතුළු විවිධ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වන අතර අධ්‍යාපන අමාත්‍යාංශය ද ඒ හා සමගාමීව දිවයිනේ සියලු පාසල් ද සම්බන්ධ කරගනිමින් සුවිශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ. මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා ද ජාත්‍යන්තර වෙසක් සැමරුම වෙනුවෙන් දායකවීමට අපට හැකිවීම භග්‍යයක් සේ සලකමු.

බුදුදහම ආගමක ස්වභාවය ඉක්මවා ගිය දර්ශනයකි. විශ්වාස මත පමණක් පදනම්වන ආගමික කරුණු වෙනුවට ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගන්නට හැකි දේ පිළිගන්නට බුදුදහම මිනිසුන් පොළඹවයි. පසිඳුරන් පිනවමින් ගතකරන ජීවිතය කෙරෙහි ඇලීම වෙනුවට අතහැරීම කියාදෙන අතරම, ලෞකික ජීවිතය නිසරුබවින් ගලවාදමන ප්‍රතිපත්ති බුදුසමය කියා දෙයි. සියල්ලටමත් වඩා ආගම ඇදහීමේ මානුෂීය නිදහස මෙන්ම ආගමික සහජීවනය පවත්වාගතයුතු අන්දම බුදුදහමෙහි අවධාරණය කරයි. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය සරණ යන බෞද්ධයෝ සමාජයේ හිතසුව පිණිස හැසිරෙති. සමාජයේ සුගතිය වෙනුවෙන් නිරන්තරයෙන් ම පෙනී සිටිති. දේශපාලන මතවාදය කුමක් වුවත්, රැකියාව, තරාතිරම කවරක් වුවත්, සතුරු බලවේග කෙතෙක් පැවතියත් නොසැලෙන මනසින් එකිනෙකාගේ හදවත් ජයගන්නට බුදුදහමින් ලැබෙන පන්නරය අතිශයින් වැදගත් වෙයි.

විශේෂයෙන් ම අනාගතය වෙනුවෙන් මිනිසුන් ගොඩනගන ක්‍රියාවලිය තුළ වැඩිම වගකීම දරන අමාත්‍යාංශය වශයෙන් සහ එහි විෂය භාර අමාත්‍යවරයා වශයෙන් මෙම ජාතික වැදගත්කමින් යුත් උත්සව හමුවෙහි අපට පැවරෙන කාර්යභාරය සුළුපටු නොවේ. ආගමික වටපිටාවක්, වඩාත් ප්‍රායෝගිකව එම වටිනාකම්, සාරධර්ම ක්‍රියාවට නංවන්නා වූ සමාජයක් අප විසින් ගොඩනැඟිය යුතුය. එ සඳහා වගකිවයුතු සියලු පාර්ශවවල සාමූහික සහයෝගය ලබාගනිමින් කටයුතු කිරීම අපගේ යුතුකමකි. අවිද්‍යාව විද්‍යාවෙන් ද, අසත්‍ය සත්‍යයෙන් ද මෝහය ප්‍රඥාවෙන් ද ජයගත හැකි සුබ වෙසක් මංගල්‍යයක් වේවා! යි ප්‍රාර්ථනය කරමි.