පාසල් දරුවන්ගේ ඉංග්‍රීසි දැනුම පුළුල් කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් විශේෂ වැඩපිළිවෙළක්

මුද්‍රණය

පාසල් දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම පුළුල් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් දියත් කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා තීරණය කර තිබෙනවා.

ඊට සමගාමීව පාසල්වල පළමු හා දෙවන ශ්‍රේණි සදහා ද ඉංග්‍රීසි භාෂා පෙළ පොතක් හඳුන්වාදීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා ජාතික අධ්‍යාපන ආයතනයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉංග්‍රීසි හා විදේශ භාෂා අංශයේ අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මේ වන විට ඉංග්‍රීසි භාෂා පෙළ පොත් සකස් කර ඇත්තේ 3 ශ්‍රේණියෙන් ඉහළ ශ්‍රේණි සඳහා පමණයි.

සම්බන්ධීකරණ භාෂාවක් ලෙස සැලකෙන ඉංග්‍රීසි භාෂාව, දැනුම පදනම් ආර්ථිකයක් කරා පියනැගීමේ දී සපුරා ගත යුතු අත්‍යවශ්‍ය සුදුසුකමක් ලෙස ද සැලකෙනවා. ඒ අනුව පාසල් සිසුන් තුළ සිංහල හා දෙමළ භාෂාවන් මෙන් ම ඉංග්‍රීසි භාෂා දැනුම ද පුළුල් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් අධ්‍යාපන අමාත්‍යවරයාගේ මඟපෙන්වීම මත ක්‍රියාත්මකයි. එහි තවත් පියවරක් ලෙස ඉංග්‍රීසි භාෂාව උගන්වන ගුරුවරුන්ගේ භාෂා ඉගැන්වීමේ ප්‍රවීණතාව සංවර්ධනය කිරීම සඳහා විශේෂ වැඩසටහන් සැලසුම් කරන ලෙස ද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.