මීපේ දකුණු ආසියාතික ගුරු පුහුණු මධ්‍යස්ථානය මගින් දකුණු ආසියාවේ ගුරුවරුන් පුහුණු කිරීමට කටයුතු කරනවා

මුද්‍රණය

නිරන්තර වෘත්තීය සංවර්ධනය සෑම ගුරුවරයකුටම අනිවාර්ය බවත් ඒ සදහා අවශ්‍ය පහසුකම් ලබාදීමට රජය පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (30) උදේ මීපේ පිහිටි දකුණු ආසියාතික ගුරු පුහුණු මධ්‍යස්ථානයේ සමාරම්භක කළමනාකරණ කමිටු රැස්වීමට සහභාගි වෙමින්. මෙම රැස්වීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ආසියාතික ගුරු පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත්වුණු අතර අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ඉදිරියේ දී දේශිය ගුරුවරුන්ට අමතරව දකුණු ආසියාවේ ගුරුවරුන් පුහුණු කිරීමට ද මෙම මධ්‍යස්ථානය හරහා කටයුතු කිරීමට හැකි බවයි.

මෙම රැස්වීමේ දී දකුණු ආසියානු රටවල ගුරු සංවර්ධනය වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡාවට ලක් කළ අතර ඒ අනුව අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය, විෂයමාලා සංවර්ධනය හා පෙළපොත් සකස්කිරීම, මෘදු කුසලතා හා නායකත්ව සංවර්ධනය, අන්තර්කරණ අධ්‍යාපනය, සාමය සහ තිරසාර සංවර්ධනය සදහා අධ්‍යාපනය, පර්යේෂණ හා ගුරු සංවර්ධනය, තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය යන ක්ෂේත්‍ර කෙරේ විශේෂ අවධානය යොමු කෙරුණා.

මෙම රැස්වීම සදහා අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා, ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාව, ජාතික අධ්‍යාපන ආයතනය එක්ව සිටි අතර ඉන්දීය, බංගලිදේශ, පකිස්ථාන සහ දකුණු ආසියානු කලාපීය රටවල යුනෙස්කෝ නියොජිතයින් සහභාගි වුණා.