ජපානයේ ආසියානු පැසිෆික් ළමා සමුඵව හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව කි‍්‍රයාත්මක කරනු ලබන දූත කණ්ඩායම් හුවමාරු ව්‍යාපෘතිය

මුද්‍රණය

ආසියානු පැසිපික් ළමා සමුළුවේ දූත කණ්ඩායම් හුවමාරු වැඩසටහන යටතේ ශ්‍රි ලංකාවට පැමිණි ජපන් සිසු සිසුවියන්ගෙන් සමන්විත දූත පිරිස තම සංචාරය නිමා කොට ආපසු පිටත්ව යාමේ උත්සවය ඊයේ (31) සවස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා. අමාත්‍යවරයා ජපානයේ දී ලද අත්දැකීම් පැමිණී සිටි සිසු සිසුවියන් සමග හුවමාරු කරගත් අතර ජපන් අධ්‍යාපන ක්‍රමය අමාත්‍යවරයාගේ විශේෂ ඇගයීමට ලක් වුණා. විශේෂයෙන් නවීන තාක්ෂණය හා නව දැනුම භාවිතා කිරීම මෙන්ම මනා පෞරුෂයකින් හෙබි යහපත් පුරවැසියකු බිහිකිරීමටත් ජපන් අධ්‍යාපන පද්ධතියට හැකි වී ඇති බව අමාත්‍යවරයා මෙහි දී සදහන් කළා.

ලෝක සාමය හා සහජීවනය තේමා කර ගත් ආසියානු පැසිපික් ළමා සමුළුව ජපානයේ ෆුකෝකා නගරයේ වාර්ෂිකව පවත්වනු ලබනවා. රටවල් 80 කට ආසන්න සාමාජිකයින් සිටින මෙම සමුළුවේ ශ්‍රී ලංකාව ද ආරම්භක සාමාජිකයෙක්. මෙම සමුළුවට සමගාමීව වාර්ෂිකව විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර දූත කණ්ඩායම් හුවමාරු වැඩසටහන ඒ අතරින් ප්‍රමුඛයි. මෙහිදී සාමාජික රටවල් අතරින් තෝරාගත් රටවල් කිහිපයකට ජපන් ජාතික සිසු සිසුවියන්ගෙන් සමන්විත දූත කණ්ඩායමක් සංචාරය කරනු ලබන අතර මෙවර ඔවුන් පැමිණයේ ශ්‍රී ලංකාවටයි. මෙම ජපන් සිසු සිසුවියන් පිරිස පසුගිය මාර්තු 25 දා දිවයිනට පැමිණි අතර ඔවුන් ශ්‍රී ලංකාවේ සත්කාරක සිසු සිසුවියන්ගේ නිවෙස්වල නැවතී සිට අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් සිදු කරන ලද විවිධ වැඩසටහන් සදහා සහභාගි වුණා. අදාළ කාලය තුළ දෙරටෙහි ම සිසු සිසුවියන්ට ඔවුනොවුන්ගේ සංස්කෘතික සබදතා පිළිබද අත්දැකීම් හුවමාරු කරගනිමින් අන්‍යොන්‍ය සුහදතාවය හා සහජීවනය වර්ධනය කරගැනීමට ද අවස්ථාව උදා වුණා.

මෙම උත්සව අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (අධ්‍යාපන ගුණාත්මක සංවර්ධන) ආචාර්ය මධුරා වේහැල්ල, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ පළමු ලේකම් Mazhaki Takaoka ඇතුළු පිරිසක් සහභාගි වුණා.