“රටක සංවර්ධනය කරා යන ගමනේ දී කාන්තා නියො‍්ජනය අතිශයින් වැදගත්” රත්නපුර ෆර්ගසන් විද්‍යාලයේ සියවස් සමරුවට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි

මුද්‍රණය

රටක සංවර්ධනය කරා යන ගමනේ දී කාන්තා නියෝජනය අතිශයින් වැදගත් වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. ලෝක ජනගහනයෙන් අඩක් කාන්තාවන් වන නමුත් ඔවුන් වෙනුවෙන් ප්‍රතිපත්ති තීරණ ගන්නා පාර්ලිමේන්තුවේ ඔවුන්ගේ නියෝජනය පවතින්නේ ඉතා පහළ මට්ටමක බවත්, ලොව ප්‍රථම කාන්තා අගමැතිනිය වූ, එමෙන්ම රත්නපුර ෆර්ගසන් විද්‍යාලයේ ආදිශිෂ්‍යාවක වූ ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය බිහි වූ ශ්‍රී ලංකාවේ එය 5.8% ක් බවත් මෙම සංඛ්‍යාව කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් සඳහන් කරන අමාත්‍යවරයා, ඉදිරි පළාත්පාලන මැතිවරණයේ දී කාන්තා නියෝජනය 30% කට වඩා වැඩි කිරීමට රජය මේ වනවිට සැලසුම් කර ඇතිබව ද පවසනවා.

ඊයේ(27) රත්නපුර ෆර්ගසන් උසස් විද්‍යාලයට සියවසක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කොට තිබූ උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සමරු උත්සවය පැවැත්වුණා.

මෙම උත්සවයේ දී අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් සිදු කරන ලද කථාවෙහි සාරාංශයක් මෙහි දැක්වෙනවා.

“අද ලෝකයේ අඩකට වඩා ඉන්නෙ කාන්තාවො. රත්නපුර ෆර්ගසන් විද්‍යාලයත් කාන්තා පාසලක්. කාන්තාව වෙනුවෙන් සමාජය වෙනුවෙන් නව රජය වැඩපිළි‍වෙළ රාශියක් ක්‍රියාත්මක කරනවා. ඇත්තවශයෙන් ම අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් පළාත් පාලන ආයතනවලට කාන්තා නියෝජනය සියයට විසිපහක් ලබාදෙන්න අපි කටයුතු කරලා තියෙනවා.

දකුණු අප්‍රිකාවෙ හිටපු නායකයෙක් වන නෙල්සන් මැන්ඩෙලා මැතිතුමා, වර්ෂ 1994ට පෙර එතුමා බලයට පත්වෙන්න ඉස්සෙල්ලා එරට පාර්ලිමේන්තුවෙ තිබුණෙ කාන්තා නියෝජනය සියයට 2.4යි. එතුමා 94න් පස්සෙ බලයට පත්වුණාම එය සියයට 27 දක්වා ඉහළ නංවන්නට කටයුතු කළා. මේ වෙනකොට දකුණු අප්‍රිකාවෙ සියයට 42ක් කාන්තා නියෝජනය ක්‍රියාත්මක වෙනවා. අපේ රටේ ඇත්ත වශයෙන් ම පාර්ලිමේන්තුවෙ කාන්තා නියෝජනය තියෙන්නෙ ඉතාම අඩු ප්‍රමාණයක්, කාන්තාවො සියයට 5.8ක් තමයි කාන්තා නියො‍්ජනය තියෙන්නේ.

ඒ වගේ ම අනිකුත් රටවල් ගත්තොත්, රුවන්ඩාවෙ කාන්තා නියෝජනය සියයට 61යි. අයිස්ලන්තයේ බොලිවියාවෙ සියයට පනස් තුනයි. කියුබාවෙ 48යි. අයිස්ලන්තයෙ 47යි. ඒ නිසා මං හිතන්නෙ අපේ කාන්තා නියෝජනය පාර්ලිමේන්තුවෙ පමණක් නොවෙයි, හැම ක්ෂේත්‍රයක ම කාන්තා නියෝජනය වැඩි කිරීමට අතිගරු ජනාධිපතිතුමන්ගේ නායකත්වයෙන් මේ වෙනකොට අවශ්‍ය පිඹුරුපත් සකස් කරමින් යනවා. ඒකෙ පළමුවැනි පියවර තමයි පළාත් පාලන නියෝජිත ආයතනවලට කාන්තා නියෝජනය සියයට විසිපහක් ලබාදීම. ඒ නිසා කාන්තාවෝ අද මේ විද්‍යාලයෙන් ප්‍රථම අගමැතිනිය බිහිවුණා වාගේ ඉදිරියෙදි මේ ඉන්න දියණියන් මේ රටේ අනාගතයේ විශිෂ්ට තනතුරුවලට ඒ වගේ ම හොඳ හදවතක් තියෙන හොඳ මනසක් තියෙන ඒවගේ ම රටට ආදරය කරන දූෂණයෙන් තොර ව කටයුතු කරන ප්‍රධාන චරිත බවට පත්වීමට ගුරුභවතුන් වශයෙනුත්, රජය වශයෙනුත්, විදුහල්පතිවරුන් වශයෙනුත් අපි අවශ්‍ය මඟපෙන්වීම් කළ යුතුයි.”

මිෂනාරි පාසලක් ලෙස 1917 වසරේ ආරම්භ කර ඇති රත්නපුර ෆර්ගසන් විද්‍යාලය සිලෝන් ඔබ්සවර් පුවත්පතේ හිමිකරු සහ කර්තෘවරයෙකු වූ ෆර්ගසන් මහතා අනුස්මරණය කිරීම වෙනුවෙන් එතුමන්ගේ නාමයෙන් ස්ථාපනය කොට තිබෙනවා. යුග කිහිපයක් පුරා බිහි වූ ආදිශිෂ්‍යාවන්ගේ පාසල පිළිබඳ අතීත ආවර්ජනා ඇසු‍රෙන් සකස් කළ ෆර්ගසන් සුභාවිතය කෘතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් වෙත පිළිගැන්වීම ද මෙහි දී සිදුකෙරුණා.