ඓතිහාසික තරුලෙන්ගල ලෙන් විහාරයේ සංරක්ෂණ කටයුතු අවසන්

මුද්‍රණය

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ගේ උපදෙස් මත පුරාවිද්‍යා වටිනාකම් සහිත ස්ථාන වේගවත්ව සංරක්ෂණය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලබනවා. පසුගිය කාලයේ පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු අඩාලව පැවතීම හේතුවෙන් මතුව තිබූ ගැටලු ද විසඳීම සඳහා මැදිහත් වූ අමාත්‍යවරයා පුරාවිද්‍යා ස්ථාන ආශ්‍රිතව සංචාරක ප්‍රවේශපත්‍ර අලෙවියෙන් ලැබෙන ආදායම් විධිමත්ව සංරක්ෂණ කටයුතු සඳහා යෙදවීමට ද පියවර ගනු ලැබුවා.

මේ අතර නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හුලංනුගේ ග්‍රාම සේවා වසමේ පිහිටි තරුලෙන්ගල හෙවත් කරදහෙල විහාරයේ නිධන් හොරුන් විසින් සම්පුර්ණයෙන් විනාශකර තිබු දිග අඩි 45 ක් පමණ වු සැතපෙන බුදුපිළිමය මේ වන විට සංරක්ෂණය කොට අවසන් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

පුරාවිද්‍යා සාධක බහුලව දක්නට ලැබෙන තරුලෙන්ගල ඓතිහාසික පුරාවිද්‍යා භූමිය තුළ ගරාවැටුණු පුරාවිද්‍යා නෂ්ටාවශේෂ රැසක් දක්නට ලැබෙනවා. ඒ අතර ගරාවැටුණු චෛත්‍යයක සාධක, කැසිකිළි ගල්, ගල් කුළුණු, සරල සඳකඩ පහනක්, කටාරම් කෙටු අඩි 30 ක් පමණ උසකින් යුත් ගල් ලෙන්, ශිලා ලේඛන, පිරිනිවන් මංඡකය ආදිය ද තිබෙනවා.

මෙහි පිහිටි ප්‍රධාන ශිලාලේඛන 03ක් මේවන විට පිටපත් කොට ඇති අතර ඒ අනුව ක්‍රි.ව. 2 - 3 සියවස්හි මෙම ස්ථානයේ ශිලා ලේඛන කෙටු බවත්, ඒවායෙහි අක්ෂර අපර බ්‍රාහ්මී අක්ෂර ලෙසත් හදුනාගෙන තිබෙනවා. මෙහි එන එක් ශිලාලේඛනයක් අනුව "හඹුතගල විහරහි ....." අසය නැමැත්තෙකු විසින් ගබ්ඩතතිරි වැව මිළට ගෙන හඹුතගල විහාරයේ භික්ෂුන් වහන්සේලාට පුජා කර ඇති බව සඳහන් වෙනවා.

තරුලෙන්ගල විශාල ලෙනේ ශිලා පෘෂ්ඨය මත බදාම පිළියම් කොට වැදි චිත්‍ර හෝ පැරණි සිතුවම් ඇඳ තිබු බවට සාධක හමුවන අතර එම බදාම කොටස් ද තැනින් තැන දක්නට ලැබෙනවා.

ජනප්‍රවාදය අනුව මෙම ස්ථානයේ මහරහතුන් වහන්සේලා වැඩසිටි බව සඳහන් වන අතර ලෙන තුල පිහිටි විශාල සැතපෙන බුදුපිළිමය නිධන් හොරුන් විසින් විනාශ කර තිබෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන යටතේ රසායන සංරක්ෂණ ශිල්පින් විසින් මහත් පරිශ්‍රමයක් දරා සංරක්ෂණ කටයුතු කළ දැවැන්ත බුදුපිළිමය ඉදිරියේ දී ජනතාවට දැක බලා ගැනීමට හැකි වෙනවා.