වසර 2,700 ක් පැරණි ඉබ්බන්කටුව මෙගලිතික සුසාන භූමිය සංචාරකයින් සඳහා විවෘත කෙරෙයි

මුද්‍රණය

වසර 2,700 ක් පැරණි මෙගලිතික යුගයේ මහා ශිලා සුසාන භූමියක් ලෙස හඳුනාගෙන ඇති ඉබ්බන්කටුව මෙගලිතික සුසාන භූමිය සංරක්ෂණය කර සංචාරකයින් සඳහා විවෘත කිරීම පසුගිය දා (11) අ‍ධ්‍යාපන අමාත‍්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

දශක කිහිපයක් තිස්සේ දේශීය හා විදේශීය පුරා විද්‍යාඥයින්ගේ නොමඳ අවධානයට පත් වූ ඉබ්බන්කටුව මෙගලිතික සුසාන භූමිය වසර කිහිපයක් තිස්සේ විධිමත් සංරක්ෂණ වැඩපිළිවෙළක් නොමැතිව විනාශයට ලක්වෙමින් පැවති අතර මේ පිළිබද විශේෂ අවධානය යොමු කළ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ජාතික උරුම කළමනාකරණ වැඩසටහනක් ලෙස මෙය සංරක්ෂණය කිරීමට පියවර ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා. ඒ අනුව අධ්‍යාපනය සංචරණය සංරක්ෂණය සහ ප්‍රජාව යන මූලික තේමාවන් ඔස්සේ මෙහි සංවර්ධන කටයුතු 2015 වසරේ සිට දියත් කෙරුණා.

දැනට ක්‍රියාත්මක පාසල් පෙළපොත්වල ඉබ්බන්කටුව මෙගලිතික සුසානභූමිය පිළිබඳව විෂය කරුණු ද ඇතුළත්ව ඇති අතර පාසල් දරුවන්ට මේ වනවිට මෙම ස්ථානය නැරඹීමට ද අවස්ථාව උදාවී තිබෙනවා. එමෙන්ම දේශීය හා විදේශීය සංචාරකයන‍්ට අවශ්‍ය සියලු පහසුකම්වලින් සමන්විතව මෙම ස්ථානය මේ වනවිට සකස් කර ඇති අතර සංචාරකයින්ගේ පැමිණිම මගින් ප්‍රදේශය ආශ්‍රිතව ජීවත්වන ග්‍රාමීය ජනතාවට සෘජු හා වක්‍ර ආදායම් මාර්ග රැසක් ද උත්පාදනය වනු ඇති.