යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ධූර අපේක්ෂක කටාර් රාජ්‍යයේ (2008-2016) හිටපු සංස්කෘතික, කලා සහ උරුමයන් පිළිබඳ අමාත්‍ය හමඩ් අල් කවාරි (Hamad Al Kawari) මහතා සහ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතර විශේෂ හමුවක්

මුද්‍රණය

කටාර් රාජ්‍යයේ (2008-2016) හිටපු සංස්කෘතික, කලා සහ උරුමයන් පිළිබඳ අමාත්‍ය හමඩ් අල් කවාරි (Hamad Al Kawari) මහතා සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතර විශේෂ හමුවක් අද (14) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වුණා. 2017 ඔක්තොබර් මස පැවැත්වෙන යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ධූරය සඳහා තරග කිරීමට අපේක්ෂා කරන හමඩ් අල් කවාරි මහතා එක්සත් ජනපදය, ප්‍රංශය ඇතුළු රටවල් කිහිපයක කටාර් රාජ්‍යයේ තානාපතිවරයා වශයෙන් සේවය කර තිබෙනවා. මීට අමතරව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ ඊට අනුබද්ධ ආයතන රාශියක ඉහළ මට්ටමේ තනතුරු රාශියක් හොබවා තිබෙන ඒ මහතා ලෝකය පුරා පිළිගැනීමට ලක් වී තිබෙන රාජ්‍ය තාන්ත්‍රිකයක් වන අතර කටාර් හි රජතුමාගේ උපදේශකවරයෙක් ලෙස ද කටයුතු කරනවා.

යුනෙස්කොවේ විධායක සභාවේ කටයුතු කරන අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය හා ජාතික උරුමයන් සංරක්ෂණය සඳහා ඉටුකරන මෙහෙය අගය කිරීමට ලක් කළ හමඩ් අල් කවාරි මහතා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සමග තොරතුරු සන්නිවේදන තාක්ෂණය පාසල් තුළ ප්‍රචලිත කිරීම, අධ්‍යාපනය සඳහා සම්පත් සාධාරණව බෙදාහැරීම, පාසල්වල සනීපාරක්ෂක පහසුකම් ඉහළ නැංවීම හා ස්පර්ශනීය මෙන්ම අස්පර්ශනීය ජාතික උරුමයන් සංරක්ෂණය කිරීම පිළිබඳව ද සාකච්ඡාවක නිරත වුණා. එසේම කටාර් රාජ්‍යය හා ශ්‍රී ලංකාව අතර අධ්‍යාපන හා ජාතික උරුමයන් පිළිබඳ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා වර්ධනය කිරීම කෙරේ ඇති ඉඩ ප්‍රස්ථා කෙරෙහි ද මෙහිදී අවධානය යොමු කළා.