අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතියට තීරණ රැසක්

මුද්‍රණය

විදුහල්පතිවරුන්ගේ දීමනාව රු. 6,500 දක්වා ඉහළට
ගුරු උපදේශක සේවය ස්ථාපිත කෙරේ
වතු පාසල් හා ධර්මාචාර්ය ගුරු සහායක දීමනාව රු. 6,000 සිට 10,000 දක්වා වැඩි කෙරේ
ජාතික පාසල්වලට උපාධිධාරී ගුරුවරුන් 1,093 ක් බඳවා ගැනීමට පියවර
ජාතික හා පළාත් පාසල්වල ප්‍රාථමික සහ 6-11 ශ්‍රේණිවල සියලුම ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීමට පියවර
ගුරු අධ්‍යාපනඥ සේවයට බඳවාගැනීමේ වයස් සීමාව 30 සිට 35 දක්වා ඉහළට
උතුරු නැගෙනහිර පළාත්වල ස්වේච්ඡා හා කොන්ත්‍රාත් පදනම මත සේවය කරන්නන් 1,732 ක් සුදුසුකම් මත ගුරු සේවයට එක් කෙරේ

පසුගිය කෙටි කාලය තුළ අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා පියවර රැසක් ගැනීමටත් මෙතෙක් නොවිසඳී පැවති ගැටළු රැසකට විසඳුම් ලබාදීමටත් හැකි වූ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා.
අධ්‍යාපන අමාත්‍යාංශයේ අද (08) උදෑසන පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා සඳහන් කලේ විදුහල්පතිවරුන් සඳහා මෙතෙක් ලබාදුන් දීමනාව ඉහල නැංවීමට කටයුතු යොදා ඇති බවත් ඒ අනුව මෙතෙක් 1AB පාසල්වල විදුහල්පතිවරුන් සඳහා ලබාදුන් රු. 750 දීමනාව රු. 6,500 දක්වා ද 1C පාසල්වල විදුහල්පතිවරුන් සඳහා ලබාදුන් රු. 600 දීමනාව රු. 4,000 දක්වා ද 2 වර්ගයේ පාසල්වල විදුහල්පතිවරුන් සඳහා ලබාදුන් රු. 450 දීමනාව රු. 3,000 දක්වා ද 3 වර්ගයේ පාසල්වල විදුහල්පතිවරුන් සඳහා ලබාදුන් රු. 300 දීමනාව රු. 2,500 දක්වා ද වැඩි කිරීමට කටයුතු යොදා තිබෙන බවයි. මේ සඳහා රජය දරන අතිරේක වාර්ෂික වියදම රු. මිලියන 231.47 ක්.

වැඩි දුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 3/2016 විධිවිධාන අනුව විදුහල්පති සේවයේ නිලධාරීන්ගේ ගැලපුම් දීමනාව ගෙවීමේ දී මතු වූ ගැටළු විසඳීම සඳහා අංක 7/2017 චක්‍රලේඛය නිකුත් කර ඇති බවත් ඒ පිළිබඳ පළාත් හා කලාප කාර්යාල දැනුවත් කර ඇති බවත් සඳහන් කළා.

එසේම වසර දෙකකට අධික කාලයක් නොවිසඳී පැවති විදුහල්පති සේවයේ අධිසේවක පදනම මත පත්වීම් ලැබූ විදුහල්පතිවරුන්ගේ වැටුප් සකස් කිරීමේ ගැටළුවට විසඳුම් ලෙස ED/04/60/01/15V(i) හා 2017.01.05 දිනැති ලිපිය මගින් මෙම නිලධාරීන්ට ද නව සේවා ව්‍යවස්ථාව අනුව වැටුප පමණක් ලබාදීමට පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මීට අමතරව පෙර සේවා ව්‍යවස්ථාව අනුව 2008.07.01 දිනට ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 2-1 සිට නව සේවා ව්‍යවස්ථාව අනුව 2 පන්තියට අන්තර්ග්‍රහණය වූ නිලධාරීන්ගේ වැටුප සකස්කිරීමේ ගැටළුව පිළිබඳව රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ආයතන අධ්‍යක්ෂ ජනරාල් හා වැටුප් කොමිෂන් සභාව සමග සාකච්ඡා කිරීමෙන් පසු සේවා ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලැබී ඇති අතර එම සේවා ව්‍යවස්ථාවේ විධිවිධාන සංශෝධනය ගැසට් කිරීමට කටයුතු යොදා තිබෙනවා.

එසේම ගුරු උපදේශක සේවය ස්ථාපනය කිරීම වෙනුවෙන් ව්‍යවස්ථා කෙටුම්පත අනුමැතිව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති අතර ධර්මාචාර්ය ගුරු සහයකයින්, වතු පාසල්වල හා උතුරු නැගෙනහිර පළාත්වල ගුරු සහයකයින් සඳහා වන රු. 6,000 ක් වන දීමනාව රු. 10,000 දක්වා ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.

සියලුම පාසල්වල පවතින ගුරු හිඟය හා ගුරුවරුන්ගේ ගැටළු සඳහා ද විසඳුම් ලබාදීමට කටයුතු යොදා ඇති බව ප්‍රකාශ කළ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඒ අනුව උතුරු නැගෙනහිර පළාත්වල ස්වේච්ඡා හා කොන්ත්‍රාත් පදනම මත සේවය කරන්නන් ගුරු සේවයට බඳවාගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බවත් ඒ අනුව ඒ සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලැබීමෙන් පසු සුදුසුකම් අනුව 3-11 ශ්‍රේණියට ගුරුවරුන් ලෙස 1,732 දෙනෙකු බඳවා ගැනීමට පියවර ගන්නා බව ප්‍රකාශ කළා.

එසේම දෙමළ මාධ්‍ය වතු පාසල් සහ ජාතික පාසල්වල පවතින දෙමළ මාධ්‍ය ගුරු හිඟයට තාවකාලික පිළියමක් ලෙස විශ්‍රාම ගිය ගුරුවරුන් 3,202 ක් කොන්ත්‍රාත් පදනම මත බඳවාගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති අතර ඒ සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලැබීමෙන් පසු සම්මුඛ පරීක්ෂණ පවත්වා එම පිරිස බඳවාගැනීමට නියමිතයි.

ජාතික පාසල්වල පවතින අ.පො.ස. (උසස් පෙළ) විද්‍යා ගණිත විෂයධාරාව ඉගැන්වීම සඳහා උපාධිධාරීන් 1,093 ක් 3 -1 (අ) පන්තියට බඳවා ගැනීම සඳහා ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින ප්‍රාථමික සහ 6-11 වසරවල ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා ඩිප්ලෝමාධාරීන් සහ අ.පො.ස. (උසස් පෙළ) සමතුන් බඳවාගැනීමට සියලු පළාත්සභාවලින් ගුරු පුරප්පාඩු කැඳවා ඇති අතර රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලැබීමෙන් පසු එම පිරිස බඳවාගැනීමට කටයුතු සිදු කෙරේ.

එසේම මේවන විට ගුරු වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ගුරු සේවා ව්‍යවස්ථාවේ අත්‍යවශ්‍ය සංශෝධන සඳහා රාජ්‍ය සේවා කොමිසන් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව පැරණි ගුරු සේවා ව්‍යවස්ථාව අනුව වසර 5න් ගුරු සේවයේ 1 පන්තියට උසස්වීම් ලද ගුරුවරුන්ගේ උසස්වීම්, නව සේවා ව්‍යස්ථාව අනුව වසර 6 ක් ලෙස සංශෝධනය වූ අතර ඒ හේතුවෙන් එම ගුරුවරුන් ලැබූ වැටුප අඩුවීමේ ගැටළුව සඳහා විසඳුමක් ලෙස එසේ පැරණි ව්‍යවස්ථාව යටතේ උසස්විම් ලද ගුරුවරුන්ගේ උසස්වීම් නව සේවා ව්‍යවස්ථාව අනුව සංශෝධනය කිරීමෙන් තොරව එලෙස ම ලබාදීම සඳහා නිර්දේශ කර තිබෙනවා.

එසේම පැරණි ගුරු සේවා ව්‍යවස්ථාව යටතේ 3-11 ශේණියේ නුපුහුණු ගුරුවරුන් වසර 10ක සේවා කාලය මත 3-1 ශ්‍රේණියට උසස් කර ඇති අතර එම පිරිස ගුරු පුහුණුව රහිත බැවින් නව ගුරු සේවා ව්‍යවස්ථාවට අන්තර්ග්‍රහණය කිරීම සඳහා වැටුප් වගුවක් නොතිබීමේ ගැටළුව සඳහා විසඳුමක් ලෙස නව ගුරු ‍සේවා ව්‍යවස්ථාවේ ගුරු පුහුණුව රහිත 3-1 ශ්‍රේණියේ ගුරුවරුන් වන ඩිප්ලෝමාධාරී ගුරුවරුන් අන්තර්ග්‍රහණය සඳහා වන 3-1 (ඇ) වැටුප් වගුව හඳුන්වා දී ඇති අතර ඒ යටතේ මෙම පිරිස අන්තර්ග්‍රහණය කිරීමට නිර්දේශිතයි.

මීට අමතරව ආගම් උගන්වන ගුරුවරුන්ගේ පුරප්පාඩු හඳුනාගෙන ඇති අතර ඒ සියල්ල සම්පූර්ණ කිරීමට පියවර ගෙන ඇති බව සඳහන් කළ අධ්‍යාපන අමාත්‍යවරයා ගුරු අධ්‍යාපනඥ සේවයට බඳවාගන්නා වයස් සීමාව ඉහළ දැමීමටත් පළමු වසරට සිසුන් ඇතුළත් කිරීමේදී දැනට පවත්නා නීතිරීති ප්‍රමාණවත් නොවීම නිසා ඒවා සංශෝධනය කිරීමටත් පියවර ගන්නා බවත් සඳහන් කළා. නිසි ක්‍රමවේදයන් අනුව බඳවාගත් විදුහල්පතිවරුන් ස්ථානගත කිරීමේදී ඇතැම් පළාත්සභා විසින් නිසියාකාරව කටයුතු නොකිරීම හේතුවෙන් මතුවූ අර්බුදකාරී තත්ත්වය විසඳීම සඳහා යළිත් ඒ පිළිබඳ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පත්කරන කමිටුවක් හරහා ක්‍රියාත්මක වීමට අපේක්ෂා කරන බවද අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.