ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට නවක සිසුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පෙබරවාරි දෙවැනි සතියේ සිට

මුද්‍රණය

අධ්‍යාපන පද්ධතිය තුළ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ශක්තිමත් කරනුයේ රටේ ගුරු පරපුරයි. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක රජයේ පාසල් 10162ක් තුළ දැනට ගුරුවරුන් දෙලක්ෂ තිස්දෙදාස් පන්සිය පනස්පහක් සේවයේ යෙදෙනවා. එහෙත් තවමත් අපේ රටේ ඇතැම් පාසල්වල ගුරු හිඟයක් සහ විශේෂයෙන් ම නගරබද පාසල්වල ගුරු අතිරික්තයක් පවතිනවා. පසුගිය රජය සමයේ සිදුව ඇති අක්‍රමවත් මුදාහැරීම් සහ බඳවාගැනීම් හේතුවෙන් මතුව ඇති මේ අයහපත් තත්වය සම්බන්ධව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ අවධානය යොමු වී තිබෙනවා.

ඒ අනුව සියලු පාසල්වල ගුරු තුලනයක් ඇති කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් නිකුත් කිරීමට මේ වනවිට පියවර ගෙන ඇති අතර, පවත්නා පුරප්පාඩු අනුව, දිස්ත්‍රික් මට්ටමේ කුසලතා මත සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පදනම මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා මෙවර ශික්ෂණලාභීන් බඳවාගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව, 2014 අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල අනුව 2016 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට නවක සිසුන් බඳවාගැනීම සම්බන්ධව නිකුත් කරන ලද 2016-09-09 දිනැති ගැසට් නිවේදනය ප්‍රකාරව නියමිත බඳවාගැනීමට අපේක්ෂිත සංඛ්‍යාව මෙන් තුන්ගුණයක අයදුම්කරුවන් ප්‍රමාණයක් සුදුසුකම් අනුපිළිවෙළට සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමට මෙවර පියවර ගෙන තිබෙනවා. මෙම සම්මුඛ පරීක්ෂණ පේරාදෙනිය, මහවැලිය, වයඹ, ගම්පහ සියනෑ, නිට්ටඹුව සාරිපුත්ත, අලුත්ගම දර්ගා ටවුන්, රුහුණු, අකුරැස්ස නිල්වලා, බණ්ඩාරවෙල වවුනියාව, යාපනය, ශ්‍රීපාද, රුවන් පුර, පුලතිසි පුර, මඩකලපුව සහ අඩ්ඩාලච්චේන යන විද්‍යාපීඨවල දී පෙබරවාරි මස දෙවැනි සතියේ සිට ආරම්භ කිරීමට ඒ අනුව සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

දිවයින පුරා විසිරි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19ක් වෙත පාඨමාලා 27ක් සඳහා මෙවර අයදුම්කරුවන් 4069ක් ඇතුළත් කරගැනීමට නියමිතයි.