දිවයිනේ විශාලතම ප්‍රාථමික ලෙන් සිතුවම් එකතුව මොණරාගල සියඹලාණ්ඩුවෙන් හමු වෙයි

මුද්‍රණය

පුරා විද්‍යා ගවේෂණය හා සංරක්ෂණ කටයුතු විද්‍යාත්මක පදනමක් මත නවීන තාක්ෂණික උපකරණ හා විශේෂඥ සහය ලබාගෙන සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් හා අවශ්‍ය මගපෙන්වීම ලබා දී තිබෙනවා. ඒ අනුව මෙතෙක් ගවේෂණයට ලක් නොවූ ප්‍රදේශවල පුරාවිද්‍යාත්මක කැනීම් කටයුතු සිදුකිරීමටත් ගවේෂණ කටයුතු වේගවත් කිරීමටත් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටිනවා.

මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිවුලේයාය, වස්තුබේගල හෙවත් වෙට්ටඹුගල ප්‍රදේශයේ සිදු කළ ගවේෂණ වලදී ප්‍රාථමික ලෙන් සිතුවම් ගණයට අයත් සිතුවම් 200 – 300 ක පමණ එකතුවක් හමු වී ඇති අතර එය මෙතෙක් දිවයිනෙන් හමු වී ඇති විශාලතම ප්‍රාථමික ලෙන් සිතුවම් එකතුවයි.

මෙහි ඇති ලෙන දිගින් මීටර් 75 ක් පමණ වන අතර උස මීටර් 20 ක් පමණ වෙනවා. ලෙනෙහි කටාරමට යටින් ක්‍රි.පූ. 3-2 සියවසට අයත් පූර්ව බ්‍රාහ්මී අක්ෂරයෙන් පුරාණ සිංහල භාෂාවට අයත් ලෙන් ලිපියක් ද හමු වී ඇති අතර, මෙම ලෙනට ඉහලින් ඇති පර්වතයේ ද ශිලා ලිපි දෙකක් ද දක්නට ලැබෙනවා. මෙම ශිලා ලේඛන සියල්ල අනුව ශුමන පරිවතය නමින් හඳුන්වා ඇති මෙම ලෙන දේවානම්පියතිස්ස රජ සමයේ දී රුහුණට පලා ගිය මහානාග රජුගේ පාලන කාලයට අයත් වන බවත් එකල මෙම ලෙන භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් පූජා කරන ලද බවත් අනාවරණය වන බව පුරාවිද්‍යාඥයින් පවසනවා.

ලෙනෙහි මීටර් 60 ක් දිගින් හා මීටර් 03 ක් උසින් යුතු ප්‍රදේශයක ඇඳ ඇති සිතුවම් අතර මානව රූප, සත්ත්ව රූප සහ සංකේත රූප ද විවිධ සංකේත ද දක්නට ලැබෙනවා. ප්‍රාග් ඓතිහාසික අවධියේ හෝ ඓතිහාසික අවධියේ ප්‍රාථමික ජනයා මෙම සිතුවම් අභිචාරාත්මක අරමුණකින් චිත්‍රණය කරන්නට ඇති බව පුරා විද්‍යාඥයින්ගේ මතයයි. මීට ප්‍රථම ප්‍රාථමික යුගයට අයත් ගුහා සිතුවම් තන්තිරිමලය, බිල්ලෑව, රජගල, ගොනාගොල්ල ආදී ප්‍රදේශවලින් ද විශාල ප්‍රමාණයෙන් හමු වී තිබෙනවා.

නිදහස් ශ්‍රී ලංකාවේ පෞරාණික උරුමය සොයා සිදුකරන පුරාවිද්‍යා ගවේෂණ හේතුවෙන් අතීත උරුමය පිළිබඳ සාධක රැසක් අලුතින් මතුකර ගැනීමට හැකි වී ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම කටයුතු සිදුකිරීමේ දී මතුවන ඕනෑම ගැටළුවක් පිළිබඳ තමා දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස ද අධ්‍යාපන අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.