Asia Pacific ICT Awards-2016 තරගයේ රන් සම්මාන දිනාගත් සිසුන් අධ්‍යාපන අමාත්‍යවරයාගේ විශේෂ ඇගයීමට

මුද්‍රණය

තායිවානයේ තායිපේ නුවරදී පවත්වන ලද Asia Pacific ICT Awards- 2016 තරගාවලිය සදහා ශ්‍රි ලංකාව නියෝජනය කරමින් මහනුවර ශා.අන්තෝනි විද්‍යාලයේ ගජින්දු කාවින්ද බණ්ඩාර සහ කවින්ද්‍ර ගිම්හාන් විජයවර්ධන යන සිසුන් විසින් කණ්ඩායම් ව්‍යාපෘතියක් ලෙස ඉදිරිපත් කරන ලද “Smart Walking Stick” නිර්මාණය සදහා රන් සම්මානය ( Gold Award)හිමි වූ අතර ඔවුන් ඇගයීමේ උත්සවයක් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රදානත්වයෙන් අද (01) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වුණා. මෙම තරගාවලිය සදහා රටවල් 16 ක් නියෝජනය කරමින් නිර්මාණ 48 ක් පමණ ඉදිරිපත් ව තිබූ අතර ඒ අතරින් විශිෂ්ටතම නව නිර්මාණය වශයෙන් මෙම නිර්මාණය තේරී තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, ශ්‍රී ලංකා පරිගණක සංගමය (CSSL) සහ ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලය (FITIS) එක්ව වාර්ෂික ව ක්‍රියාත්මක කරනු ලබන ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ තරඟාවලියේ ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලය (FITIS) විසින් අනුග්‍රහය දක්වනු ලබන “තරුණ පරිගණක ශූරයෝ (Young Computer Scientist-YCS)” අංශයේ විශිෂ්ට කුසලතා දක්වන ලද සිසුන්Asia Pacific ICT Awards-2016 (APICTA) ජාත්‍යන්තර තරගාවලිය සදහා සහභාගීවීමට සුදුසුකම් සපුරා ගනු ලැබුවා.

ඒ අනුව මහනුවර ශා.අන්තෝනි විද්‍යාලයේ ගජින්දු කාවින්ද බණ්ඩාර සහ කවින්ද්‍ර ගිම්හාන් විජයවර්ධන යන සිසුන් විසින් ඉදිරිපත් කරන ලද ජයග්‍රාහී නිර්මාණයට අමතරව කුරුණෑගල මලියදේව විද්‍යාලයේ නිලාන් දිල්හාර මීගොඩ විසින් ඉදිරිපත් කළ Vocus the Robot ව්‍යාපෘතිය හා මීගමුව ගේට්වේ විද්‍යාලයේ සුභාෂ් ඇන්ටන් කාවින්ද තිසේරා, ශවීන් මලින්ත ප්‍රනාන්දු, යූජු මෂූඩා හා සුගුමාරන් අබිලාෂ් විසින් ඉදිරිපත් කළ Arduino CNC Plotter යන ව්‍යාපෘතිය ද ශ්‍රි ලංකාව නියෝජනය කරමින් 2016-12-02 දින සිට 2016-12-05 දින දක්වා තායිවානයේ තායිපේ නුවරදී පවත්වන ලද Asia Pacific ICT Awards-2016 තරගාවලිය සදහා ඉදිරිපත් කරනු ලැබුවා.