නවතම පුවත්

පාසල් දරුවන් මුහුණ දෙන මානසික ගැටලු පිළිබඳ පාසල තුළ දී ගුරුවරුන්ගේ අවධානය යොමුවීම වැදගත්

මනෝ උපදේශනය පිළිබඳ විධිමත් පුහුණුවක් සහිත ගුරු භවතුන් 2,753ක් අධ්‍යාපන පද්ධතියට අලුතින් එක් කර ගැනීම කඩිනම් කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් නිලධාරීන්ට උපදෙස්.

වර්තමාන සංකීර්ණ සමාජ ක්‍රමය තුළ පාසල් දරුවන්ට විවිධ මානසික ගැටලුවලට මුහුණදීමට සිදු වීම හේතුවෙන් ඔවුන්ගේ අධ්‍යාපනික හා සමාජයීය පැවැත්මට අහිතකර බලපෑම් එල්ලවන බැවින් පාසල් තුළ දී වඩාත් සංවේදීව ඔවුන්ගේ ගැටළු විසදීමට හැකි, මනෝ උපදේශනය පිළිබද සුදුසුකම් සපුරන ලද ගුරුවරුන්ගේ සේවය පාසල් සදහා ලබාගැනීමට අවස්ථාව සලසන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා.

නව යොවුන් වියට එළඹීමත් සමග දරුවන් මුහුණ දෙන ගැටලු සඳහා නිසි අයුරින් මව්පියන් සහ ගුරුවරුන් සංවේදී නොවීම හේතුවෙන් එම දරුවන් විවිධ සමාජ විරෝධී ක්‍රියාවන්හි ගොදුරු බවට පත්වීමත්, ඔවුන්ගේ සමබර පෞරුෂය ගිලිහී යාමත් හේතුවෙන් සමාජය තුළ ගැටළු රැසක් නිර්මාණය වී තිබෙනවා. පාසල් ගුරුවරුන් විෂය කරුණු ඉගැන්වීමට පමණක් සීමා වීමත් මව්පියන්ගේ කාර්ය බහුල ජීවන රටාවත් හේතුවෙන් දරුවන් සහ ඔවුන් අතර දුරස්ථභාවයක් නිර්මාණය වී තිබෙනවා.

මේ සියලු තත්ත්වයන් සැලකිල්ලට ගෙන දරුවන් කෙරෙහි සංවේදී වෙමින් ඔවුන්ගේ මානසික ගැටලු සඳහා නිසි උපදේශනය ලබාදීම කාලීන අවශ්‍යතාවයක් බවයි, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කළේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාණ්ඩලික නිලධාරීන්ගේ හමුවක දී අමාත්‍යවරයා මෙම කරුණු පිළිබඳ නිලධාරීන්ගේ අවධානය යොමු කළ අතර හැකි ඉක්මණින් සුදුස්සන් ඒ සඳහා බඳවාගැනීමට කටයුතු කරන ලෙස ද උපදෙස් ලබා දුන්නා.

ඒ අනුව ළමුන් 300 ට වැඩි පාසල් සඳහා මනෝ උපදේශන කටයුතු සඳහා ගුරුවරුන් බඳවාගැනීම් සිදුකිරීමට නියමිත අතර මෙවැනි පාසල් 3,768 ක් පද්ධතිය තුළ ක්‍රියාත්මකයි. මේ වන විටත් මෙම පාසල්වල ගුරුවරුන් 1,039 දෙනෙකු මනෝ උපදේශන සේවයේ තාවකාලිකව යෙදී සිටින අතර, ඔවුන්ගේ සුදුසුකම් සපුරාලීමට අවශ්‍ය ඉඩකඩ සපයා දී ඔවුන් ද මනෝ උපදේශන කටයුතු සඳහා පත් කිරීමටත්, මීට අමතරව තවත් පුරප්පාඩු 2,753 ක් සඳහා ශ්‍රී ලංකාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් හෝ ඒ හා සමාන පිළිගත් ආයතනයකින් ලබාගත් උපාධියක් සහිත උපාධිධාරීන්ගෙන් සුදුස්සන් බඳවාගැනීමටත් නියමිතයි.

Search