අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්නූ ඇත්ත ''ජාතික ප්‍රශ්නයක් සේ සලකා විසඳීමට'' කථානායකවරයා සුදානම්

මුද්‍රණය

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් අද (08)පාර්ලිමේන්තුව වෙත කළ පැහැදිලි කිරීමක් ජාතික ප්‍රශ්නයක් සේ සලකා විසඳීමට කටයුතු කළ යුතු බව කථානායක කරූ ජයසූරිය මහතා සඳහන් කළා.

ඒ අධ්‍යාපන අමාත්‍යංශය සහ කැබිනට් මණ්ඩලය ගනු ලබන ඉතා වැදගත් තීරණ පළාත් මට්ටමින් ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙනුයි.

මෙහිදී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කර සිටියේ විදුහල්පති පුරප්පාඩු සඳහා යොමු කරන ලද අයවලුන්ට අදාළ රාජකාරි ලබා දී නොමැති බව සහ ඇතැම් අවස්ථාවල දුෂ්කර සේවා ස්ථාන සඳහා යොමු කර ඇති බවයි.

එහෙත් උප ගුරුවරුන්ව පළාත් සභා විසින් විදුහල්පතිවරු ලෙස වැඩ බැලීමට පත් කර ඇති බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

ඇතැම් අවස්ථාවල ආර්ථික උපාධියක් ගත් ගුරුවරුන්ව සිංහල වැනි වෙනත් විෂයන් ඉගැන්වීම සඳහා පළාත් මට්ටමින් බඳවා ගන්නා බවයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පෙන්වා දුන්නා.

මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා පෙන්වා දුන්නේ පළාත් සභාවල දේශපාලන බලවතුන් ද මෙම තත්ත්වයට වගකිව යුතු බවයි .

කථානායක කරූ ජයසූරිය මහතා එහිදී සඳහන් කළේ ආණ්ඩුකාරවරුන් කැඳවා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි.