"පැණි වරකා ගහටත් හෙන ගහන්නා සේ අද පොහොට්ටු පක්ෂයේ අභ්‍යන්තරයේ ගැටුම්’’ - අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්.

මුද්‍රණය
දේශපාලන හේතූන් මත පසුගිය සමයේ දී සමෘද්ධි දීමනාව ලක්ෂ දෙකකට ලැබී නොමැති බවත්, එම සමෘද්ධිලාභීන්ට නැවත එය ලබා දීමට කඩිනමින් පියවර ගන්නා බවත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. 
 
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ පසුගිය දා කුරුණෑගල, හිරියාල එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ දී පැවති රැස්වීමකට එක්වෙමින්. 
 
එමෙන්ම සමෘද්ධි සහනාධාරය නැවත ලබාදීමේ ක්‍රියාවලියට සමගාමීව සමෘද්ධිය ආශ්‍රිත රැකියා ලබාදීමේ කටයුත්ත ද සිදුකරීමට අපේක්ෂා කරන බව මහලේකම්වරයා මෙහිදී ප්‍රකාශ කළා. 
 
අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහි දී පෙන්වා දුන්නේ, සියලු අර්බුධ, ගැටලුකාරී තත්ත්වයන් සහ සියලු බෙදීම් නිවැරදි කොට ගෙන, එක්සත්ව, එක්සිත්ව, එක් පක්ෂයක් ලෙසින් 2020 දී තනි එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිටුවා ජනතා අපේක්ෂා ඉටු කිරීමේ අරමුණ සහිත මැතිවරණ සටනට දැන් පක්ෂය අවතීර්ණ වී ඇති බවයි.
 
 
එමෙන්ම, කිනම් මාධ්‍ය සංදර්ශන සහිතව කටයුතු කළ ද පොදු ජන පෙරමුණේ අභ්‍යන්තර අර්බුදය දැන් සමාජය ඉදිරියේ නිරාවරණය වී ඇති බවත්, පසුගිය දා පාර්ලිමේන්තුවේ දී පැවති නියෝජ්‍ය කථානායකවරයා පත් කිරීමේ ඡන්ද විමසීම් අවස්ථාවේ දී එය හොඳින් පෙනී ගිය බවත් මහලේකම්වරයා මෙහි දී පැවසුවා. 
 
පැණි  වරකා ගහටත් හෙන ගහන්නා සේ අද පොහොට්ටු පක්ෂයේ අභ්‍යන්තර ගැටලුකාරී තත්ත්වයන් ජනතාවට දැකගත හැකි බව ද අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී සඳහන් කළා.