13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන සඳහා ෆින්ලන්ත රජයේ සහය

මුද්‍රණය

ෆින්ලන්ත නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍ය පෙට්රි පෙල්ටෝනස් මහතා සහ මෙරට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතර විශේෂ හමුවක් අද (12) අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්වුණා.

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය දියුණු කිරීමට අදාළ පියවර සහ සැලසුම් පිළිබඳව මෙම හමුවේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර නවීන අධ්‍යාපන ක්‍රමවේද ඔස්සේ මෙරට සිසුන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මක බව උසස් කිරීමට අදාළ නව ප්‍රතිපත්තීන් සහ සැලසුම් පිළිබඳව අදහස් සහ යෝජනා පිළිබඳව මෙම විශේෂ හමුවේ දී සලකා බලනු ලැබුවා.

පසුගිය වසරේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ෆින්ලන්තයේ නිල සංචාරයක නිරත වූ අතර මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය දියුණු කිරීමට අවශ්‍ය නවීන දැනුම සහ ක්‍රමෝපායන් පිළිබඳව එහිදී ඔවුන් අධ්‍යනයක නිරත වුණා.

එමෙන්ම මෙරට තාක්ෂණික සහ වෘත්තිය අධ්‍යාපනය දියුණු කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදීමට ෆින්ලන්ත රජය විසින් අග්‍රාමාත්‍යවරයාට සහ අධ්‍යාපන අමාත්‍යවරයාට පොරොන්දු වනු ලැබුවා.

එම පොරොන්දුව පරිදි අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ වන විට ක්‍රියාත්මක කර ඇති 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන සඳහා ෆින්ලන්ත රජයේ සහය ලබා දීමට එම රජය තීරණය කර ඇති බව මෙම විශේෂ හමුවේ දී එරට නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍ය පෙට්රි පෙල්ටෝනස් මහතා සඳහන් කළා.

ඒ අනුව, තාක්ෂණික, වෘත්තිය සහ තොරතුරු තාක්ෂණය ඇතුළු විවිධ විෂය පථයන් දියුණු කිරීම සඳහා ෆින්ලන්ත රජයේ මැදිහත් වීම ඉදිරියේ දී ලබා දීමට නියමිතයි.