අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සිය ධුරයෙහි වැඩ අරඹයි

මුද්‍රණය

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (21) සිය අධ්‍යාපන අමාත්‍යධුරයෙහි වැඩභාරගත් අතර, එම නිල උත්සවය පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්වුණා.

රටේ අධ්‍යාපන පද්ධතිය තුළ විප්ලවීය වෙනසක් ආරම්භ කර ක්‍රියාවට නැංවෙමින් පැවතිය දී මතු වූ කුමන්ත්‍රණකාරී දේශපාලන වෙනස්කම් හේතුවෙන් පසුගිය දින පනහකට අධික කාලය පුරා එම කටයුතු අඛණ්ඩව ක්‍රියාවට නැංවීමට නොහැකිවීම ගැන කනගාටුවට පත්වන බවත්, රටේ දරුවන්ට වඩාත් ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කරන ලද, 13 වසරක අධ්‍යාපන වැඩසටහන, සුරක්ෂා රක්ෂණ වැඩසටහන, ළඟම පාසල හොඳම පාසල වැඩසටහන ඇතුළු සාධනීය සංවර්ධන වැඩසටහන් නැවතත් බලාත්මක කරන බවත් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහි දී ප්‍රකාශ කළා.

පටු දේශපාලන වාසි මත තමා කිසිවිටෙකත් කටයුතු නොකළ බවත්, එහෙත් පසුගිය සමයේ රට තුළ පැවති දේශපාලන අස්ථාවරභාවය හමුවේ, එතෙක් වසරක් පාසා නිසි පරිදි පාසල් දරුවන්ට ලබාදුන් පෙළ පොත්, නිල ඇඳුම් වවුචරපත් ලබාදීම වැනි ක්‍රියාමාර්ග පවා ක්‍රමවත් ව සිදුකිරීමට නොහැකි තත්වයට පත් ව තිබූ බවත්, ඒ පිළිබඳ අතිශයින් කනගාටුවට පත්වන බවත්, ඉදිරියේ දී යලිත් එවැනි තත්වයන් ඇතිවන්නට ඉඩ නොතබන බවත් අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළා.

මෙම අවස්ථාවට අධ්‍යාපන ලේකම් පද්මසිරි ජයමාන්න මහතා ඇතුළු ජ්‍යේෂ්ඨ අධ්‍යාපන නිලධාරීන් රැසක් සහ දේශපාලන නියෝජිතයන් රැසක් එක්ව සිටියා.