අධ්‍යාපනය ගොඩනගන්න පක්ෂ පාටවලින් තොරව එක්වන්න

මුද්‍රණය

අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් සියලුම ක්ෂේත්‍රවල රාජකාරි කටයුතු කරන සැමට සුබ නව වසරක් ප්‍රාර්ථනා කළ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පක්ෂ පාට බේදයකින් තොරව අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් එක අරමුණකින් කටයුතු කරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටියි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (01) පෙරවරුවේ නව වසර සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ රාජකාරි ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිශ්චිත ප්‍රතිඵල ලබාගත හැකි ප්‍රතිපත්ති සහ තීරණ ක්‍රියාත්මක කළ යුතු බව පෙන්වා දුන් අධ්‍යාපන අමාත්‍යවරයා ඒවා නියමිත කාල රාමුවක් අනුව ක්‍රියාවට නැංවිය යුතු බව ද අවධාරණය කළේය.

ඉදිරි  කාලය තුළ අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සියලු දෙනා සැලසුම් සහිතව එක අරමුණකින් කටයුතු කළ හොත් අපේක්ෂා කළ ඉලක්ක ළගාකර හැකි බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

තමන් අමාත්‍යවරයා ලෙස ක්‍රියාත්මක කරන්නේ තම පුද්ගලික ප්‍රතිපත්ති නොව රජයේ ප්‍රතිපත්ති බව පැවසූ අධ්‍යාපන අමාත්‍යවරයා සියලුම රජයේ සේවකයින් ද රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට බැදී සිටින බව ද පැවසුවා. 

අධ්‍යාපන පද්ධතියේ සංවර්ධනය වෙනුවෙන් තමන් නායකත්වය ලබා දෙන අතර එහිදී ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණවල වරදක් ඇත්නම් ඕනෑම නිලධාරියෙකුට තමන් සමඟ සාකච්ඡා කළ හැකි බව අමාත්‍යවරයා මෙහි දී කියා සිටියේය

මහජන වරමකින් බලයට පත්වන ආණ්ඩුවේ අරමුණු සමග රජයේ සේවකයන් වැඩ කළ යුතු අතර එසේ නොකිරීම ආණ්ඩු විරෝධී කටයුත්තක් ලෙස නොව රාජ්‍ය විරෝධී කටයුත්තක් ලෙස තමන් දකින බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී කියා සිටියේය.