මූලික සුදුසුකම් ඇත්නම් තමන් අභිමත විභාගයකට පෙනී සිටීමට කිසිවෙකුට බාධාවක් තිබිය නොහැකියි

මුද්‍රණය

2018 වර්ෂයේ පැවති අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ කලා අංශයේ ප්‍රතිඵල අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය ජාත්‍යන්තර පාසලක සිසුවියක් දිනා ගැනීම සම්බන්ධයෙන් හිටපු අධ්‍යාපන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධව තමන් ඉතාමත් කණගාටුවන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා 2018 වර්ෂයේ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමේදී ජාතික පාසල් සහ ජාත්‍යන්තර පාසල් වෙන් කොට දැක්විය යුතු බවත් ඔහු අමාත්‍යවරයා සිටි කාලයේ දී කිසිවිටෙකත් ජාත්‍යන්තර පාසල්වල සිසුන්ට ජාතික මට්ටමේ විභාගවලට පෙනී සිටීමට ඉඩ ලබා නොදුන් බවත් පසුගිය දිනවල පවසා තිබුණි. එසේම ජාත්‍යන්තර පාසල් වල අධ්‍යාපන ලබන සිසු දරුවන් ගේ ප්‍රතිඵල ජාතික පාසල් වල ඉගෙන ගන්නා සිසු දරුවන්ගේ ප්‍රතිඵල සමඟ එකට ඉදිරිපත් කිරීම මගින් නිදහස් අධ්‍යාපනය වලපල්ලට යන බවත් පවසා ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ජාතන්තර පාසලක ඉගෙනුම ලබන සිසුවියක් කලා විෂය ධාරාවෙන් දිවයිනෙන් ප්‍රථම ස්ථානයක් හිමි කර දීම හරහා විභාග දෙපාර්තමේන්තුව නිදහස් අධ්‍යාපනය විනාශ කර දැමීමට කුමන්ත්‍රණයක් සිදුකර ඇතැයි ගම්‍යවන ආකාරයේ ප්‍රකාශයක් ද සිදු කර තිබුණා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ එම අදහස් සම්බන්ධව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා තම කණගාටුව ප්‍රකාශ කළා.

අධ්‍යාපනය සඳහා ඇති අයිතිය එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම අපගේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ද පවතින මූලික මානව අයිතියක් මෙන්ම රජයේ, පුද්ගලික හෝ ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය හැදෑරුව ද මූලික සුදුසුකම් සපුරන ලද ඕනෑම අයෙකුට තමන් අභිමත විභාගයකට පෙනී සිටීමට කිසිදු බාධාවක් තිබිය නොහැකි බව ද අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.

නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීම වෙනුවෙන් රජයේ පාසල්වල ඉගෙනුම ලබන දරුවන් සඳහා අවශ්‍ය භෞතික හා මානව පහසුකම් මෙන්ම දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් සුරක්ෂා රක්ෂණාවරණය ද හඳුන්වා දී ඇති බව ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහි දී ප්‍රකාශ කළා.

සෑම දරුවකුටම ඉගෙනගැනීම සඳහා සාධාරණ අවස්ථා ඇති කරලීම වෙනුවෙන් ළඟම පාසල හොඳම පාසල වැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් සිටින බව පැවසූ අධ්‍යාපන අමාත්‍යවරයා වැඩවසම් සමාජ ආකල්ප බැහැර කරමින් දක්ෂතා අනුව සිසුන්ව ඇගයීමටත් තම දක්ෂතා සහ හැකියා අනුව ඔවුන්ට ඉදිරියට යාමටත් අවස්ථා ඇති කළ යුතු බවත් මෙහිදී පැහැදිලි කළා.

රජයේ පාසල්වල සිටින දරුවන්ගේ අධ්‍යාපන අයිතීන් ආරක්ෂා කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබා දී ක්‍රියාකරන අතර ම එසේ නොවන දරුවන්ගේ අධ්‍යාපන අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් ද ඒ සමානවම පෙනී සිටින බව සඳහන් කළ අමාත්‍යවරයා මේ සියලු දෙනා අප රටේ දරුවන් බව ද අවධාරණය කරනු ලැබුවා.

ජාත්‍යන්තර පාසල්වල සිසු දරුවන් මීට වසර ගණනාවකට පෙර සිටම රජයේ ප්‍රධාන විභාගවලට පෙනී සිටි බව පැවසූ අමාත්‍යවරයා විභාග දෙපාර්තමේන්තුව ද මෙතෙක් පැවති ක්‍රමවේදය අනුව කටයුතු කරමින් මෙවරද විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට පියවර ගත් බව ද සඳහන් කළා. නමුත් එවැනි කරුණක් අවස්ථාවාදී ලෙස ඉස්මතු කිරීම මගින් දැනට අධ්‍යාපන ලබන සිසු දරුවන් අතර අනවශ්‍ය ගැටලුවක් නිර්මාණය කරන බව ද පෙන්වා දුන්නා.

ජාත්‍යන්තර පාසල්වල කටයුතු නියාමනය කිරීමේ වගකීම හඳුනාගත් වර්තමාන රජය ඒ සඳහා ස්වාධීන සුපරීක්ෂණ මණ්ඩලයක් පිහිටුවීමට කටයුතු කර ඇති බව ද පැහැදිලි කළ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එම මණ්ඩලය හරහා ජාත්‍යන්තර පාසල්වල ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේදයන් මෙන්ම එම ආයතන සතු භෞතික පහසුකම් සහ ගුරුවරුන්ගේ සුදුසුකම් සම්බන්ධව ද නියාමනය සිදුකරන බව පැවසුවා. මේ සියල්ල හරහා ජාත්‍යන්තර පාසල්වල ප්‍රමිතියක් ඇති කිරීමට හැකි බව ද අමාත්‍යවරයා තම විශ්වාසය පළ කළා.

එසේම ජාත්‍යන්තර පාසල් මෙරට පිහිටුවීමේ දී එම ආයතන අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය යටතේ පිහිටුවීමට හැකි වන පරිදි අවශ්‍ය කටයුතු සිදුකරන බව ද සඳහන් කළා.

මෙම අවස්ථාවට අධ්‍යාපන ලේකම්වරයා, විභාග කොමසාරිස් ජනරාල්වරයා සහ ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.