දේශපාලන උවමනා මත පතුරවා හරින කටකතා අසත්‍යයි

මුද්‍රණය

බුද්ධි අංශ කිසිසේත්ම අඩපණ කර නොමැති අතර ඒ පිළිබඳ දේශපාලන උවමනා මත ඇතමුන් පතුරවා හරින කටකතා සම්පූර්ණයෙන් අසත්‍ය බවත්, මේ වන විට අත්අඩංගුවේ පසුවන්නේ බුද්ධි අංශ නිලධාරීන් හතර දෙනෙකු පමණක් බවත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

ඝාතනයට ලක්වූවන්ගේ හත්දවසේ දානය දීමටත් පෙර ගෝඨාභය රාජපක්ෂ මහතා මිනිස් සිරුරු මතින් දේශපාලනය කරමින් ජනාධිපති අපේක්ෂක ලෙස ක්‍රියා කිරීමට තැත් කිරීම තරයේම හෙළා දකින බව ඇමැතිවරයා සඳහන් කළා.

පොලිසිය, ත්‍රිවිධ හමුදාව, විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශවල දහසකට වැඩි සංඛ්‍යාවක් සිටින බව පැවසූ ඇමැතිවරයා ඒ අතරින් අත්අඩංගුවේ පසුවන්නේ පැහැර ගැනීමේ කප්පම් ගැනීම් චෝදනා යටතේ ඇප දීමට නොහැකිව සිටින සිව්දෙනෙකු පමණක් බවත් සඳහන් කර සිටියා.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග සහ අතුරුදන් මාධ්‍යවේදී එක්නැලිගොඩ ඇතුළු සිදුවීම් පිළිබඳ අත්අඩංගුවට ගත් බුද්ධි නිලධාරීන් ඇප මත මුදාහැර තිබෙන බවත් ඇමැති නීතිඥ කාරියවසම් මහතා අවධාරණය කර සිටියා.

බුද්ධි අංශ දේශපාලනීයකරණය නොකරන ලෙසටත් බුද්ධි අංශ තොරතුරු පදනම් කරගනිමින් ප්‍රහාර සිදුවී සතියක් ගතවීමට මත්තෙන් සියලුම වගතුග සොයාගෙන ත්‍රස්තවාදීන් හඹාගොස් දක්ෂව ක්‍රියාකරන පොලිසියට, ත්‍රිවිධ හමුදාවට ගෞරවනීය ස්තුතිය පිරිනමන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළා.

ෂැංග්‍රිලා හෝටලයේ ප්‍රධානී ආරක්ෂක නිලධාරියා ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ධුරය දරද්දී ඔහුගේ ආරක්ෂක ප්‍රධානියකු බව සිහිපත් කළ ඇමැතිවරයා හෝටලයට ආරක්ෂාව සැපයීමට ඔහුට නොහැකි වූ බවත් අවධාරණය කර සිටියා.

අතීතයේදී ගෝඨාභය රාජපක්ෂ සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහත්වරුන්ට ත්‍රස්ත ප්‍රහාර එල්ල වූ අවස්ථාවේදී බුද්ධිඅංශ වාර්තා නොතිබුණේදැයි මෙහිදී ඇමැතිවරයා ප්‍රශ්න කරමින් වැඩිදුරටත් සිහිපත් කර සිටියා.

ලොව හොඳම බුද්ධි අංශයක් ලෙස අපගේ බුද්ධි අංශ හඳුන්වාදීමට හැකි බවත් සඳහන් කළ ඇමැතිවරයා බුද්ධි අංශ වෙත පහර නොදෙන ලෙසත් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් බුද්ධි අංශ වෙත චෝදනා එල්ල කරමින් අසත්‍ය ප්‍රචාර පතුරවා හැරීම ප්‍රතික්ෂේප කරන බවත් වැඩිදුරටත් සඳහන් කළා.