“දේශීය ආර්ථිකයට නව ජවයක් ලබාදෙන්නටත් ඒ හරහා රටේ ජනතාවට සියලු ප්‍රතිලාභ ලබාදෙන්නටත් අපි සූදානම් ”
පසුගිය මැතිවරණ සමයේ දී කුලියාපිටිය ජනතාවට වූ මැතිවරණ පොරොන්දුවක් මල්පල ගන්වමින් වයඹ ජනතාව ඇතුළු සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවට අභිමානවත් ප්‍රතිලාභ රැසක් අත්පත් කරදෙමින් ශ්‍රී ලංකා‍වේ ප්‍රථම යුරෝපීය මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවට මුල්ගල තැබීම ඊයේ සිදුකෙරුණා. ඒ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ සහ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්. රටට නව ආයෝජන ඉඩ ප්‍රස්ථා විවර කරමින් ශ්‍රී ලංකාව කාර්මීකරණයේ දෙවැනි යුගයට ප්‍රවිශ්ඨ කරවීමට මුලපුරමින් කුලියාපිටිය ලබුයාය මහනුගලන්ද වත්තේ පිහිටි අක්කර 29ක භූමිභාගයක් තුළ ආරම්භ වන මෙම මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලා‍වෙහි ඉදිකිරීම් කටයුතු ඉදිරි මාස 30ක කාලය තුළ අවසන් කෙරෙනු ඇති. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් යටතේ වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බල් පුද්ගලික සමාගම විසින් ආරම්භ කරනු ලබන මෙම මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාව හරහා තරුණ තරුණියන් 2500කට අධික පිරිසකට නව රැකියා අවස්ථා ලබාදීමට ද අපේක්ෂිතයි. මෝටර් කාර්මික පුහුණු මධ්‍යස්ථානයක් ද මෙම පරිශ්‍රය තුළ ම ස්ථාපිත කිරීමට නියමිත අතර, එහි දී පුහුණුව ලබන තරුණ තරුණියන්ට එම කර්මාන්ත ශාලාවේ මෙන් ම විදේශ රැකියා අවස්ථා ලබා දීමට ද කටයුතු සැලසුම් කර තිබෙනවා. මෙම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු ආරම්භ වී පළමු වසර තුන ඇතුළත නිපදවනු ලබන සියලු වාහන දේශීය වෙළඳපොළ වෙත නිකුත් කෙරෙන අතර, අනතුරුව විදේශීය වෙළඳ පොළ ඉලක්ක කරගනිමින් නිෂ්පාදන කටයුතු දියත් කිරීමට අපේක්ෂිතයි. සාමාන්‍ය මෝටර් රථ, ක්‍රීඩා උපයෝගිතා මෝටර් රථ, බහුකාර්ය වාහන, සහ වෙළඳ වාහන, 1000 CC සහ 2000 CC කාණ්ඩ යටතේ මෙම කර්මාන්ත ශාලාව තුළ නිෂ්පාදනය කෙරෙනු ඇති. එමෙන්ම මෙහි මුල් අදියරේදී ඩීසල් වාහන නිෂ්පාදනය ‍කරනු ලබන අතර, ඉදිරියේ දී පෙට්‍රල්, හයිබ්‍රිඩ් සහ ඉලෙක්‍ට්‍රික් වාහන ලෙස ද නිෂ්පාදනය කිරීමට සැලසුම් කර තිබෙනවා. දේශීය ආර්ථිකයට නව ජවයක් ලබාදෙමින් ශීඝ්‍රයෙන් ‍සංවර්ධනය වන ලෝකයේ සෙසු රටවල් සමඟ අභිමානවත්ව එක්වන්නට මේ හරහා විශාල ශක්තියක් එක්වන බවත්, මෙම කර්මාන්ත ශාලාව ආරම්භ කිරීම සිහිනයක් වනු ඇති බවට බොහෝ පටු දේශපාලන මතධාරීන් කළ චෝදනාවට අද සැබෑ පිළිතුරක් ලබාදීමට හැකිවීම සතුටට කරුණක් බවත්, කුලියාපිටිය ජනතාව ඇතුළු සමස්ත වයඹ ජනතාවටත් සමස්ත ශ්‍රී ලංකාවටත් මේ හරහා ලැබෙන අතිමහත් ප්‍රතිලාභ ඉදිරියේ දී දැකබලාගත හැකිවනු ඇති බවත් මෙහි දී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ප්‍රකාශ කළා. වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය එස් බී නාවින්න, මුදල් අමාත්‍ය රවී කරුණානායක, තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රමපෙරේරා, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලී රත්නායක, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දිසානායක, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති උපුල් ජයසූරිය යන මහත්ම මහත්මීන් ඇතුළු පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ප්‍රමුඛ ගිහිපැවිදි විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
Category: Video Gallery | Created by: | Hits: 5097