පාසල් පාදක ඇගයීම් ක්‍රමයෙහි වෙනසක්: ගුරුවරුන් පීඩාවට පත් කළ කොළ පිරවීම වෙනුවට පහසු, නව ක්‍රමවේදයක්
ශිෂ්‍ය ප්‍රගතිය පරීක්ෂා කිරීම වෙනුවෙන් පාසල්වල ක්‍රියාත්මක වූ පාසල පදනම් කරගත් ඇගයීම් ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ දී කොළ පිරවීම ගුරුවරුන් පීඩාවට පත්කරන්නක් බවට දිගින් දිගට ම මතු වූ අදහස් සැලකිල්ලට ගෙන ඒ වෙනුවට වඩා විධිමත් සහ පහසු ක්‍රමවේදයක් පාසල් පද්ධතියට හඳුන්වා දීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ කොරියාවේ කොයිකා ආයතනයේ ප්‍රදානයක් ලෙස කුලියාපිටියේ අභිනවයෙන් ඉදිකිරීමට නියමිත තාක්ෂණවේදය සඳහා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සහ ඒ සම්බන්ධව දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවට එක් වෙමින්. මෙම ක්‍රමය ඉදිරියේ දී පාසල්වල ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළා. පාසල් පාදක ඇගයීම් ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ දී ශිෂ්‍ය ප්‍රගතිය, ශිෂ්‍ය පැතිකඩ, තොරතුරු වාර්තා පොත, ඉගෙනුම් ඉගැන්වීම් ඇගයීම් සැලසුම් ගොනුව ආදී ලේඛන රැසක් සම්පූර්ණ කිරීමට ගුරුවරයාට සිදුවන බවත්, අලුතින් පද්ධතියට එක් කරගන්නා ගුරුවරුන්ට ඒ සම්බන්ධව විශේෂ පුහුණුවක් ලබා නොදීම හේතුවෙන් විවිධ දුෂ්කරතා මතුවන බවත්, මේ හේතුවෙන් ගුරුවරයාට ශිෂ්‍යයින් සමඟ සමීපව කටයුතු කිරීමේ අවස්ථාවන් ද මඟහැරී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කලා. මේ හේතුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ ද අදහස් හා නිර්දේශ පදනම් කරගනිමින් නව ක්‍රමවේදය පාසල් පද්ධතියට හඳුන්වා දීමට පියවර ගෙන ඇති බවයි, අමාත්‍යවරයා සඳහන් කළේ.
Category: Video Gallery | Created by: | Hits: 7346