ආපදා තත්වය සම්බන්ධව සාකච්ඡා කිරීමේ විශේෂ මාධ්‍ය හමුව

මතුව ඇති ආපදා තත්වය පිළිබඳ සැලකිල්ලට ගනිමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද (31) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වුණා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් වාර්තා කර ඇති තොරතුරු අනුව, ගංවතුර උවදුරින් ‍මේ වනවිට පාසල් සිසුන් 44 දෙනෙක් මියගොස් තිබෙනවා. අතුරුදන් වූ සිසුන් සංඛ්‍යාව 8ක්. ගංවතුරෙන් වැඩිම පීඩාවට පත් රත්නපුර දිස්ත්‍රික්කයේ පාසල් 57ක්, කෑගල්ල දිස්ත්‍රික්කයේ පාසල් 2ක් ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 8ක්, මාතර දිස්ත්‍රික්කයේ පාසල් 4ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසල් 5ක්, හානියට පත්ව තිබෙනවා. බස්නාහිර පළාතේ ජයවර්ධනපුර කළාපයේ පාසල් 4ක්, මතුගම පාසල් 15ක්, හොරණ පාසල් 39ක්, හෝමාගම පාසල් 4ක් හානියට පත්ව තිබෙනවා. එමෙන් ම, සබරගමුව පළාතේ පාසල් 30ක් ද, දකුණු පළාතේ පාසල් 12ක් සහ බස්නාහිර පළාතේ පාසල් 17ක් අවතැන් කඳවුරු සහිත පාසල් ලෙස ක්‍රියාත්මකයි. ගංවතුරින් ආපදාවට ලක් වූ දිස්ත්‍රික්ක 8ක පාසල්වලට ජුනි 02 වැනි සිකුරාදා වන තෙක් නිවාඩු ලබා දී ඇති අතර එම නිවාඩුව තවදුරටත් දීර්ඝ කිරීම හෝ පවතින තත්වයන් අනුව දිර්ඝ කිරීම් අවශ්‍ය පාසල් සම්බන්ධව සිකුරාදා වනවිට දැනුම් දෙන බව මෙහි දී අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ගංවතුරින් ආපදාවට පත් පාසල් දරුවන් වෙනුවෙන් නොමිළේ නිල ඇඳුම් කට්ටල 3ක්, පෙළ පොත් කට්ටලයක්, සපත්තු කුට්ටමක් සහ අභ්‍යාස පොත් රජය විසින් ලබාදීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. එමෙන්ම නැවත පාසල් ආරම්භ කළ පසු ආපදා තත්වයන් පැවති ප්‍ර‍දේශවල දරුවන්ට පාසලට පැමිණීමේ දී නිල ඇඳුම අනිවාර්ය නොවන බව ද, පාසල් නිල ඇඳුම් වෙනුවට තමන්ට පවතින වෙනත් ඇඳුමකින් හෝ පාසල් පැමිණීමට අවසර ලබාදෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළා. මීට අමතරව, ගංවතුර හේතුවෙන් විනාශයට පත්වූ විභාග සහතිකපත් විභාග දෙපාර්තමේන්තුව මඟින් නැවත නොමිළේ ලබාගැනීමට ද අවස්ථාව සලසා දී තිබෙනවා. වසරකට පාසල් පැවැත්විය යුතු සම්පූර්ණ දින ගණන 190ක් වන අතර මෙම තත්වය හමුවේ ඇතැම් පාසල් වසා තැබීමට සිදුවීමෙන් දරුවන්ට අහිමිවන පාසල් දින සෙනසුරාදා දින පාසල් පැවැත්වීමෙන් හෝ සතියේ දිනවල පාසල පැවැත්වෙන පැය ගණන දීර්ඝ කර, ආවරණය කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළා. අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ලබාදෙන ආපදා ණය සඳහා ඉල්ලුම් කිරීමේ දී ගංවතුර ආපදාවට ලක් වූ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් වෙත ප්‍රමුඛතාව ලබාදීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා. සෑම ජාතික පාසලක ම ආපදාවට පත් වූ දරුවන් වෙනුවෙන් අවශ්‍ය මූල්‍ය නොවන වෙනත් ආධාර එකතු කිරීමේ මධ්‍යස්ථාන ලෙස ද මේ වනවිටත් ක්‍රියාත්මකව පවතිනවා. මෙම ආපදා තත්වය හේතුවෙන් කඩාවැටුණු සහ අබලන් වූ සියලු පාසල් ඉතා ඉක්මණින් පිළිසකර කරදීමට පියවර ගන්නා බවත්, රට පුරා ඇති පැරණි අනාරක්ෂිත ගොඩනැගිලි සහිත පාසල් සම්බන්ධව තොරතුරු එක්රැස් කර ඒවා නැවත ගොඩනැඟීමට කැබිනට් පත්‍රිකාවක් මඟින් අවශ්‍ය පියවර ගන්නා බව ද අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළා. අධ්‍යාපන අමාත්‍යතුමන්ගේ විශේෂ උපදෙස් මත, අධ්‍යාපන ලේකම්තුමන්ගේ සහ රාජ්‍ය ලේකම්තුමන්ගේ මඟපෙන්වීම යටතේ රත්නපුර රුවන්පුර, කලුතර පස්දුන් රට සහ ගාල්ල රුහුණු විද්‍යාපීඨ හරහා එම ප්‍රදේශයන්හි අවතැන් කඳවුරුවල ජීවත්වන ජනතාව වෙනුවෙන් අවශ්‍ය පිසූ ආහාර ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලොරි රථ කිහිපයකින් එම ප්‍රදේශ වෙත පිටත් කර යැවීම අද උදෑසන (31) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මේ සඳහා පෙළ පොත් මුද්‍රණකරුවන්ගේ අනුග්‍රාහක දායකත්වය ද ලැබී තිබෙනවා.

Category: Video Gallery | Created by: | Hits: 12394