පාහියන්ගල සංචාරයක නායයාමේ අවදානම පිළිබඳ අදාළ නිලධාරීන්ගෙන් බහුවිෂයික වාර්තාවක් කැඳවයි

නාය යාමේ අවදානමට ලක්ව ඇති ඓතිහාසික පාහියන් ලෙන පිළිබඳ බහු විෂයික වාර්තාවක් කැඳවීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. අමාත්‍යවරයා මේ උපදෙස් ලබාදුන්නේ, පසුගිය දා (04) පාහියන් ලෙනෙහි වර්තමාන තත්වය පරීක්ෂා කිරීම පිණිස එම පරිශ්‍රය වෙත ගොස්, අදාළ විෂයභාර විද්වතුන් සහ නිලධාරීන් සමඟ සිදුකළ තොරතුරු විමසා බැලීමෙන් අනතුරුවයි. ඒ අනුව පුරාවිද්‍යා,ඉංජිනේරු,වාස්තුවිද්‍යා, භූ ගර්භ විද්‍යා,ඇතුළු ක්ෂේත්‍ර රැසක විද්වතුන් සම්බන්ධ කරගනිමින් අදාළ වාර්තාව කඩිනමින් කැඳවීමට පියවර ගෙන තිබෙනවා. පුරාවිද්‍යා,ඉංජිනේරු, වාස්තුවිද්‍යා ,භූ ගර්භ විද්‍යා,ඇතුළු ක්ෂේත්‍ර රැසක විද්වතුන් මේ සඳහා සම්බන්ධ කරගනිමින් මෙම වාර්තාව ලබාගැනීමට නියමිතයි. මීට අමතරව නාය යාමේ අවදානම හේතුවෙන් අසල විහාරස්ථානයේ වැඩවසන 30 නමකට ආසන්න භික්ෂූන් වහන්සේගේ ජීවිතාරක්ෂාව පිළිබඳ අවදානමක් මතුව තිබෙනවා. අදාළ අංශ විසින් මේ පිළිබඳ අනතුරු අඟවා ඇති බැවින් උන්වහන්සේගේ ආරක්ෂාව වෙනුවෙන් තාවකාලික ආවාසයක් ඉදිකිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසද අමාත්‍යවරයා මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතාට උපදෙස් ලබා දුන්නා. වසර 58000ක ප්‍රාග් ඉතිහාසයකට උරුමකම් කියන, ශ්‍රී ලංකාවේ විශාලතම ස්වභාවික ගල් ලෙන ලෙස ප්‍රකටව ඇති ඓතිහාසික පාහියන් ලෙන අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කර දීම ජාතික වගකීමක් වනබවත්, විශේෂයෙන් ම දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද විශාල පිළිගැනීමක් ඇති, සංචාරක, ඓතිහාසික, මෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකමින් ද යුත් මෙම ‍‍ස්ථානය ආරක්ෂාකරගැනීම සම්බන්ධව පූර්ණ අවධානය යොමු කර අදාළ සංරක්ෂණ කටයුතු ආරම්භ කළ යුතු බවත්, අමාත්‍යවරයා අවධාරණය කළා.

Category: Video Gallery | Created by: | Hits: 5306