පීඩාවට පත් වූ පාසල් දරුවන් විසි පන්දහසකට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සහන පැකේජයක්

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ පාසල් දරුවන් විසි පන්දහසකට පමණ පාසල් අධ්‍යාපන කටයුතු කරගෙන යාමට අත්‍යාවශ්‍ය සියලුම ද්‍රව්‍ය ඇතුළත් සහන පැකේජයක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි කටයුතු යොදා තිබෙනවා. මේ සඳහා ජාතික පාසල් සහ ව්‍යාපාරික ආයතන රැසක් අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක්ව සිටිනවා. ජාතික පාසල් සහ ව්‍යාපාරික ආයතන එක් රැස් කළ ද්‍රව්‍ය ආධාර අමාත්‍යාංශය වෙත ලබා දීම අද (07) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර මෙම සද්කාර්යයට දායක වූ පාසල් දරුවන් සියලු දෙනාගේ පරිත්‍යාගශීලි දායකත්වය අමාත්‍යවරයාගේ විශේෂ ඇගයීමට ලක්වුණා. දිස්ත්‍රික්ක අටක ආපදාවට පත් වූ පාසල් දරුවන් වෙනුවෙන් මෙම විශේෂ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ලබන අතර අමාත්‍යවරයාගේ උපදෙස් මත සෑම ජාතික පාසලක් ම ආපදාවට පත් වූ දරුවන් වෙනුවෙන් අවශ්‍ය මූල්‍ය නොවන වෙනත් ආධාර එකතු කිරීමේ මධ්‍යස්ථාන ලෙස කටයුතු කරනු ලැබූවා. පීඩාවට පත් වූ සිසු දරුවකු වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලබා දෙන සහන පැකේජයට රු 10,000 ක් පමණ වටිනා ද්‍රව්‍ය ඇතුළත් වෙනවා. ඒ අතර නිල ඇඳුම් රෙදි කට්ටල 3ක්, සපත්තු වවුචරයක්, පෙළ පොත් සහ අභ්‍යාස පොත් ඇතුළත්. මීට අමතරව ජාතික පාසල් සහ ව්‍යාපාරික ආයතන විසින් එක් රැස් කළ ද්‍රව්‍ය ආධාර ද පීඩාවට පත් සිසුන් සඳහා ලබා දීමට නියමිතයි. අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඇතුළත් සහන පැකේජ ලබා දීමේ දී සැබැවින්ම පීඩාවට පත් වූ පාසල් දරුවන් නිවැරදිව හඳුනාගෙන ඔවුන් වෙත ඒවා ලබා දීමට විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා මෙහි දී පැවැසුවා. ඒ අනුව අදාළ පාසල් දරුවන් සම්බන්ධ නිවැරදි තොරතුරු පන්තිභාර ගුරුවරයා, විදුහල්පතිවරයා සහ ග්‍රාම නිලධාරිවරයා යන අය විසින් සහතික කර තිබීම අනිවාර්ය බව ද අමාත්‍යවරයා සඳහන් කළා. නිවැරදි තොරතුරු තහවුරු කරගැනීමෙන් පසු ඉදිරි සතියේ සිට පීඩාවට පත් පාසල් දරුවන් වෙත සහන පැකේජ ලබාදිමට සැලසුම් කර තිබෙනවා. ද්‍රව්‍ය ආධාර ලබා දුන් ව්‍යාපාරික ආයතන වෙත සහ පාසල් මට්ටමින් ආධාර එක්රැස් කිරීමේ කටයුතු සම්බන්ධීකරණය කළ විදුහල්පතිවරුන් හා ගුරුවරුන් වෙත ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා තම ස්තුතිය ප්‍රකාශ කළා. මෙම අවස්ථාවට අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, අධ්‍යාපන රාජ්‍ය ලේකම් තිස්ස හේවාවිතාන, අතිරේක ලේකම්(පාසල් කටයුතු) අශෝක හේවගේ යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සහ ආධාර ලබාදුන් ආයතනවල නියෝජිතයින් පිරිසක් එක්ව සිටියා.

Category: Video Gallery | Created by: | Hits: 5056