අස්ගිරි පාර්ශවයේ මහා නායක ආචාර්ය වරකාගොඩ ධම්මසිද්ධි ශ‍්‍රී පඤ්ඤානන්ද ඥානරතනාභිධාන මාහිමිපාණන් වහන්සේ

ජාත්‍යන්තර එක්සත් බෞද්ධ සංඝ සභාවේ ගිහි සභාපති ධූරය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට. තරුණ අමාත්‍යවරයෙකු ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා සිදුකරන මෙහෙවර අස්ගිරි පාර්ශවයේ මහානාහිමියන්ගේ පැසසුමට. බෞද්ධ ධර්මය ප්‍රචලිතව ඇති ලෝකයේ සියලු රටවල් නියෝජනය කරන ජාත්‍යන්තර එක්සත් බෞද්ධ සංඝ සභාවේ ගිහි සභාපතිවරයා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පත් කෙරුණා.ඒ ඊයේ අවසන් වූ ජාත්‍යන්තර තරුණ බෞද්ධ සංඝ සභාවේ 14 වන වාර්ෂික සම්මේලනයේදී.මෙම සමුළුවට ලෝකයේ ඇති ප්‍රධාන බෞද්ධ සම්ප්‍රදායන් 05 වන ථේරවාදී, මහායාන, තන්ත්‍රයාන, වජ්‍රයාන සහ සෙන් යන බෞද්ධ සම්ප්‍රදායන් නියෝජනය කරමින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ සහ ගිහි නියෝජිතයින් රැසක් එක්ව සිටියා. මාතලේ මිල්ලවාන මහා විද්‍යාලයේ දි පැවති අවසන් සැසිවාරයේ දී අනුශාසනාවක් සිදුකරමින් අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහා නාහිමියන්, තරුණ අධ්‍යාපන අමාත්‍යවරයෙකු ලෙසත්, දූරදර්ශී දේශපාලඥයෙකු ලෙසත්, දැනඋගත් මන්ත්‍රීවරයෙකු ලෙසත් මෙරට තරුණ ප්‍රජාව වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටුකිරීමේ හැකියාව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට ඇති බව පෙන්වා දුන්නා.එම අධිෂ්ඨානය පෙරදැරි කරගනිමින් දෙස් විදෙස් රටවල තරුණ භික්ෂුන් වහන්සේ ද සම්බන්ධ කරගිනිමින් කටයුතු කිරීමේ වැදගත් කම ද අවධාරණය කළ උන්වහන්සේ, අධ්‍යාපන අමාත්‍යතුමන් සමග එක්ව එම කටයුත්ත ඉදිරියට සිදුකිරීම මඟින් මෙරට තරුණ ප්‍රජාවට පිළිසරණක් විය හැකි බව ද සිහිපත් කළා. උත්සව සභාව ඇමතූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා, බුද්ධශාසනයේ චිරස්තිථිය වෙනුවෙන් භික්ෂුන් වහන්සේගේ ආශිර්වාදය ද ලබා ගනිමින් මේ වන විට වැඩසටහන් රැසක් දියත් කර ඇති බවත්, ඉදිරියටත් සිදුකරන බවත් අවධාරණය කළා. මේ වසරේ දී බෞද්ධ විහාරස්ථාන 750 ක් සංවර්ධනය කිරීම සඳහා අවමය රුපියල් ලක්ෂ 05 බැගින් වන මූල්‍ය ප්‍රතිපාදන වෙන්කිරීමට පියවර ගෙන ඇති බවත්, තවත් විහාරස්ථාන 250 කට මූලික අවශ්‍යතාවයන් සපුරාගැනීම සඳහා මීට මාස 02 කට පමණ ඉහත දි මූල්‍ය ප්‍රතිපාදන ලබා දුන් බවත් සිහිපත් කළා. මීට අමතරව පැරණි බෞද්ධ උරුමයන් සංරක්ෂණය කිරීම උදෙසා ද විශේෂ වැඩසටහනක් දියත් කිරීමට තමා නායකත්වය ලබා දී ඇති බව ද පෙන්වාදූන් අමාත්‍යවරයා, පිරිවෙන් පද්ධතිය සංවර්ධනය කරමින් මෙරට බෞද්ධ අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද අදහස් පළ කළා. නුදුරේදීම පිරිවෙන් වල අධ්‍යයන කටයුතු වල නිරත ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ වෙනුවෙන් රුපියල් 2500 බැගින් වන දීමනාවක් ලබාදීමට පියවර ගන්නා බව ද සඳහන් කළා.දේශපාලඥයෙකු ලෙසත් අමාත්‍යවරයෙකු ලෙසත් බෞද්ධ දර්ශනය අනුව ජීවත් වීම තම අරමුණ බව ද මෙහිදි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළා. දකුණු කොරියාව, තායිලන්තය, ජපානය, මියන්මාරය සහ ලාඕසය ඇතුලු රටවල් 24 ක් මෙවර ජාත්‍යන්තර තරුණ බෞද්ධ සංඝ සභාවේ වාර්ෂික සම්මේලනයට එක්ව සිටියා.ජාත්‍යන්තර තරුණ බෞද්ධ සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ හිමියන්, සම සභාපති පූජ්‍ය ශී කුආම් රූ හිමියන් සහ සම සභාපති පූජ්‍ය බගවාන් සී ජී විමලකීර්ති හිමියන් ඇතුලු ගිහි පැවදි ආරාධිතයින් රැසක් මීට එක්ව සිටියා.

Category: Video Gallery | Created by: | Hits: 5135