නවතම පුවත්

  කුරුණෑගල විශ්වෝදා විද්‍යාලය සිසු අයිතියට පත් කෙරේ

කුරුණෑගල මගුරුඔයවත්තේ අභිනවයෙන් ඉදිකරන ලද විශ්වෝදා විද්‍යාලය නිල වශයෙන් විවෘත කිරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ මඟපෙන්වීමෙන්, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මැතිතුමන්ගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) සිදුකෙරුණා

ශ්‍රී ලංකාවේ ජන ඝනත්වය වැඩි දිස්ත්‍රික්ක අතරට එක්ව ඇති කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාසල් සඳහා වන සිසු ජනගහණය ද සාපේක්ෂව ඉහළ අගයක් ගන්නා අතර එම ඉල්ලුම සපුරාලීමට පවත්නා පාසල් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මගුරුඔයවත්ත ප්‍රදේශයේ මෙම පාසල ඉදිකිරීමට පියවර ගෙන තිබෙනවා.

නගරාසන්නයේ පිහිටා ඇති පහසුකම් සහිත පාසල් අතළොස්සක් වෙත දරුවන් ඇතුළත් කරගැනීම වෙනුවෙන් කාලාන්තරයක් තිස්සේ රට පුරා නොවිසඳී පවත්නා අර්බුදයට සාධාරණවූත්, ප්‍රායෝගික වූත් විසඳුමක් ලෙස, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයක් අනුව, ළඟම පාසල හොඳම පාසල වැඩසටහන වැඩසටහන මේ වනවිට ක්‍රියාත්මක අතර කුරුණෑගල මගුරුඔයවත්තේ හෙට සිට සිසු අයිතියට පත්වන විශ්වෝදා විද්‍යාලය ද එම ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද පාසලක්.

වඩාත් ගුණාත්මක අධ්‍යාපන අවස්ථා රටේ සියලු දරුවන්ට ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සියලු පාසල් පහසුකම් සහිත පාසල් බවට පත්කිරීම වෙනුවෙන් ඉතිහාසයේ එදාමෙදාතුර ක්‍රියාවට නැංවෙන විශාලත ම සංවර්ධන වැඩසටහන වන්නේ ළගම පාසල හොදම පාසල වැඩසටහනයි. මේ යටතේ දැනට පවත්නා පාසල් භෞතික හා මානව සම්පත්වලින් සංවර්ධනය කිරීම මෙන් ම ශ්‍රී ලංකාවේ ජනඝණත්වය වැඩි දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පහසුකම් සපිරි ජාතික පාසල් අලුතින් ඉදිකිරීමට ද පියවර ගෙන තිබෙනවා. විශ්වෝදා විද්‍යාලය ඒ යටතේ අභිනවයෙන් ඉදිකෙරුණු පළමු අංග සම්පූර්ණ පාසලයි.

ඉගෙනුම් ක්‍රියාවලිය සඳහා වඩාත් හිතකාමී පරිසරයක ඉදිකර ඇති විශ්වෝදා විද්‍යාලය, අංගසම්පූර්ණ සහ අති නවීන පන්ති කාමර සෞන්දර්ය ඒකක, භාෂාගාර, විද්‍යාගාර, පරිගණකාගාර, සුහුරු පන්ති කාමර (Smart Class Room) ශ්‍රවණාගාර, ගෘහස්ථ ක්‍රීඩාගාර,පිහිනුම් තටාක, විදුහල්පති හා ගුරු නිවාස, ආපන ශාලා, ඇතුළු සියලු පහසුකම්වලින් සමන්විතයි.

කුරුණෑගල මගුරුඔය වත්තේ අක්කර 05ක භූමියක ඉදි කර ඇති මෙම විද්‍යාලය සඳහා වැය කර ඇති මුළු මුදල රුපියල් මිලියන1000ක් වන අතර, මිශ්‍ර පාසලක් ලෙස ක්‍රියාත්මක වන මෙම පාසලේ 6 සිට 13 ශ්‍රේණි දක්වා පන්ති පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

Search