නවතම පුවත්

අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් කරන ලද අසත්‍ය ප්‍රකාශ සඳහා අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් පිළිතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පසුගිය දා මාධ්‍ය හමුවක් තබමින් අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් කරන ලද අසත්‍ය ප්‍රකාශ සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (11) පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දුන්නා.

පෙළපොත් සඳහා අමාත්‍යවරයාගේ ප්‍රකාශයක් ඇතුළත් කිරීම නිසා මුද්‍රණයට වැඩි මුදලක් වැයවූ බවත් නිල ඇඳුම් වවුචරය නිසා වියදම වැඩිවූ බවත් සුරක්ෂා රක්ෂණය පුද්ගලික සමාගමකට ලබාදී ඇති බවත් පවසමින් එම මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් පත් කරන ලද දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කර ඇති බවයි පුවත්පත් වාර්තා කර තිබුණේ.

වවුචරය මුද්‍රණය කිරීමේදී ආරක්ෂක ක්‍රමවේද අනුව මුද්‍රණය කළ යුතු බවත් එය සෑම මුද්‍රණාලයකම මුද්‍රණය කළ නොහැකි බවත් එය බැංකු වෙත ඉදිරිපත් කර මුදල් ලබා ගත හැකි එකක් බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

සුරක්ෂා රක්ෂණය සඳහා පුද්ගලික සමාගමක් තෝරා ගත්තේ තමන් හෝ අමාත්‍යංශය නොවන අතර ජනාධිපතිතුමන් විසින් පත් කර ඇති අභියාචනා මණ්ඩලය මගින් එය එම සමාගමට ලබාදීමට නිර්දේශ කළ බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.

පෙළ පොත් මුද්‍රණයේදී තමන්ගේ ඡායාරූපය ඇතුළත් කළ නිසා වියදම වැඩිවූ බවට කරන චෝදනා සඳහා ද පිළිතුරු ලබාදුන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පිටුවේ ඇතුළත් වන ඡායාරූපය හෝ පණිවිඩය මත මුද්‍රණ වියදම තීරණය නොවන බව කියා සිටියා.

තමන් පාසල් යන කාලයේත් මෙවැනි පණිවිඩයක් ඇතුළත්ව තිබූ බවද අමාත්‍යතුමන් සිහිපත් කර සිටියා.

 

 

Search