නවතම පුවත්

දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුවට... සාහිත්‍ය පාලමක්

මෙරට ග්‍රන්ථ ප්‍රකාශන ක්‍රියාදාමය තුළ පුළුල් කාර්යභාරයක නිරත ව සිටින ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය ජාතීන් අතර අන්‍යෝන්‍ය අවබෝධය ඇතිකිරීමෙහි ලා භාෂාව හා සාහිත්‍යය යොදාගැනීම වෙනුවෙන් වන සුවිශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ, දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුවට සාහිත්‍ය පාලමක් නමින් සංවිධානය කර ඇති ග්‍රන්ථ පරිවර්තන ව්‍යාපෘතියයි. මෙම ග්‍රන්ථ පරිවර්තන ව්‍යාපෘතියේ සමාරම්භය සහ අදාළ ලේඛක මණ්ඩලය සමඟ ඊට අදාළ ගිවිසුම් අත්සන් කිරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුකෙරුණා.

මෙම පරිවර්තන ව්‍යාපෘතිය මඟින්  සිංහල බසින් ලියැවුණු පොත් දෙමළ භාෂාවටත්, දෙමළ බසින් ලියැවුණු පොත් සිංහල භාෂාවටත් ඉංග්‍රීසි බසින් ලියවී ඇති තෝරාගත් කෘති කිහිපයක් සිංහල සහ දෙමළ භාෂාවන්ටත්, ජාත්‍යන්තරයට යාහැති මට්ටමේ විශිෂ්ට දෙමළ සහ සිංහල කෘති ඉංග්‍රීසි භාෂාවටත් පරිවර්තනය කිරීමට පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය පියවර ගෙන තිබෙනවා. ජාතීන් අතර එකමුතුව, සුහදතාව සහ අවබෝධය පුළුල් කිරීමටත්, ඒ ඇසුරෙන් සංස්කෘතික හුවමාරුවක් සහ වඩාත් ගුණාත්මක පොත්පත් සමාජගතකිරීමටත් මේ හරහා අවස්ථාව සැලසෙන අතර මෙම ග්‍රන්ථ පරිවර්තන ක්‍රියාවලිය තුළ උපදේශන කමිටුව ලෙස කටයුත් කරන්නේ, මහාචාර්ය කේ එන් ඕ ධර්මදාස, මහාචාර්ය ජයදේව උයන්ගොඩ, මහාචාර්ය යෝගරාජා, ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන බුද්ධදාස ගලප්පත්ති, සහ එස් සිවගුරුනාදන් මහතායි.

මෙම ව්‍යාපෘතියේ ආරම්භක අදියර තුළ දී කෙටිකතා වෙළුම් දෙකක් පරිවර්තනය කිරීමට නියමිතව ඇති අතර, ඉන් එක් වෙළුමක් අද්‍යතන කෙටිකතාකරුවන්ගේ කෙටිකතාවලින් සමන්විත අතර, දෙවැනි වෙළුම 2000 වසරට පෙර යුගයේ බිහි වූ ලේඛකයින්ගේ කෙටිකතාවලින් සමන්විත වනවා. ඒ අනුව ආරම්භක අදියර තුළ ඉහළ සාහිත්‍යමය වටිනාකමින් යුත් සිංහල බසින් රචිත අද්‍යතන කෙටිකතා 7ක් දෙමළ භාෂාවට ද දෙමළ බසින් ලියවුණු කෙටිකතා 7ක් සිංහල භාෂාවට ද පරිවර්තනය කිරීමට නියමිතයි. එමෙන් ම දෙවැනි අදියර තුළ දී නවකතා හා ශාස්ත්‍රීය කෘති පරිවර්තනය කිරීමට නියමිත අතර ජාත්‍යන්තරයට යායුතු මට්ටමේ සිංහල හා දෙමළ කෘති ඉංග්‍රීසි බසට පරිවර්තනය කිරීමට ද අපේක්ෂිතයි. ඉදිරියේ දී මුද්‍රණය කෙරෙන මෙම පරිවර්තන ග්‍රන්ථ සියලු ම පාසල් හා මහජන පුස්තකාල වෙත බෙදාහැරෙන අතර රට තුළ විදග්ධ පාඨක ප්‍රජාවක් ගොඩනැඟීමට අවැසි පසුබිම සකස්කිරීම මෙම සද්කාර්යයෙහි මූලික අපේක්ෂාවයි.

මෙම සමාරම්භක උත්සව අවස්ථාවට එක් වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා  ප්‍රකාශ කළේ,  මෙරට සිංහල සහ දෙමළ ප්‍රජාව අතර සංස්කෘතික  හුවමාරුවක් මෙන් ම ගුණාත්මක බවින් යුත් සාහිත්‍ය කෘති සමාජගත කිරීමට මෙවැනි ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම ඉතා කාලෝචිත වන බවයි. ඕනෑම පුස්තකාලයක අනිවාර්යයෙන් ම තිබිය යුතු පොත් පිළිබඳ යම් කිසි හඳුනාගැනීමක් සිදුකළ හැකි නම් ඉදිරියේ දී ඒ අනුව, අදාළ පරිවර්තන කාර්යයන්, නැවත මුද්‍රණ කාර්යයන් වෙනුවෙන් වැඩි අවධානය යොමු කළ හැකිවන බව මෙහි දී අමාත්‍යවරයා සඳහන් කළා. එමෙන් ම  සිංහල බසින් දෙමළ බසට මෙන් ම දෙමළ බසින් සිංහල බසටත්, ඉංග්‍රීසි බසින් රචිත ඉතා වටිනා කෘති සිංහල සහ දෙමළ භාෂා දෙකටත් පරිවර්තනය කිරීම අගය කළ යුතු සද්කාර්යයක් බව ද වැඩිදුරටත් කරුණු දක්වමින් අමාත්‍යවරයා පැවසුවා. මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති දීපාල් චන්ද්‍රරත්ත මහතා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.

 

Search