නවතම පුවත්

සඳුදා පාසල් ආරම්භ කිරීමට සූදානම් ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙලක්

 අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

සෑම පාසලකම ආරක්ෂාව තහවුරු වී තිබෙන බවට සියලු ආරක්ෂක අංශයන් හි පැහැදිලි එකඟතාවයක් ලබා ගෙන එළැඹෙන 06 වැනිදා පාසල් සියල්ල නැවත ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පාසල් ආරම්භ කිරීම සහ පාසල් හි ආරක්ෂක තත්ත්වය පිළිබඳව ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ දී අද (02) පෙරවරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේ දීය.

දිවයිනේ සියලුම පාසල් සඳහා ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුවත් කරමින් එකම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බැවින් අධ්‍යාපන අමාත්‍යාංශය ලබා දී ඇති කරුණු 18 කින් සමන්විත දැනුවත් කිරීමේ චක්‍රලේඛය ද පාසල් ප්‍රධානීන් වෙත යොමු කර ඇති බවත් මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ත්‍රිවිධ හමුදා, පොලිසිය සහ බුද්ධි අංශ වලින් ලබා දෙන තොරතුරු හා උපදෙස් මත තීරණ ගතයුතු බව පෙන්වා දෙන අධ්‍යාපන අමාත්‍යවරයා, ඊට පරිබාහිරව හුදකලාව තීරණ ගැනීමට පුඵවන් කමක් නැති බවයි අවධාරණය කළේ.  පාසල් නැවත ආරම්භ කිරීමට පෙර දැඩි ආරක්ෂාව සහිත ස්ථාන බවට පරීක්ෂාවලින් පසු තහවුරු කරගත යුතු බවත්, එසේම පාසල් ආරම්භ කළාට පසුව ද අවශ්‍ය ආරක්ෂාව ලබා දිය යුතු බවටත්, ත්‍රිවිධ හමුදා හා පොලිසියේ ප්‍රධානීන්ට ලිඛිත හා වාචිකව දැනුම් දී ඔවුන් හා සාකච්ඡා කර තීන්දු ගණනාවකට එළඹුනු බවත් ඇමතිවරයා සඳහන් කළා. සියලුම පාසල් පරිශ්‍ර හා අවට පරීක්ෂා කොට ආරක්ෂාව තහවුරු කිරීම සඳහා  පොලිසිය එකඟතාවය පළ කරන ලද බවත් ඇමතිවරයා පවසනවා.

ඒ අනුව පාසල් දරුවන‍්ගේ ආරක්ෂාව පිණිස ගතහැකි සෑම පියවරක්ම ආණ්ඩුව වශයෙන් හා අධ්‍යාපන අමාත්‍යාංශය වශයෙන් ගනු ලැබ ඇතැයි ද ඇමතිවරයා ප්‍රකාශ කරනවා. පාසල් දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විදුහල්පතිවරුන්, ගුරුවරුන්, මවුපියන් ආදි ශිෂ්‍යයන් මෙන්ම සිසුන්ට ද වගකීමක් තිබෙන බවත්, කරුණු 18 කින් සමන්විතව ආරක්ෂාව සම්බන්ධ දැනුවත් කිරීමේ එම චක්‍රලේඛය මගින් විදුහල්පතිවරුන්ට දැනුම් දුන් බවත් ඇමතිවරයා  පවසනවා.  එය දරුවන්ගේ ආරක්ෂාව කාට හෝ පැවරීමක් නොවන බව ද, දරුවන්ගේ ආරක්ෂාව මේ මොහොතේ සියලු දෙනාගේ ජාතික මෙන්ම පුරවැසි වගකීමක් බව ද ඇමතිවරයා පෙන්වා දෙනවා.

සියලුම ආරක්ෂ අංශ වලින් පාසල් ආරක්ෂාව සම්බන්ධයෙන් පැහැදිලි එකඟතාවයක් ලබා ගැනීමටත්, සියලු බුද්ධි අංශ වලින් තොරතුරු ලබා ගෙන පාසල් ආරම්භ කළයුතු බවටත් කැබිනට් මණ්ඩලය තීරණය කළ බවයි ඇමතිවරයා ප්‍රකාශ කළේ.

කතෝලික පාසල් එදින නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් එම ප්‍රධානීන් හා කාදිනල්තුමා සමඟ ද සාකච්ඡා කිරීමට නියමිතයි.

පාසල් දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙම සියලු පියවර ගැනීමේ දී මැදිහත් වී ලබාදුන් උපරිම සහයෝගය පිළිබඳව ඇමතිවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ස්තුතිය පළ කරන බව ද සඳහන් කළා.

පාසල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් රථවල ආරක්ෂාව සම්බන්ධයෙන් ගතයුතු විධිවිධාන පිළිබඳව පොලිසිය සමඟ සාකච්ඡා කිරීමටත්, සමහර වෑන් රථවල පමණ ඉක්මවා දරුවන් ප්‍රවාහනය කරන බැවින් ඒ සම්බන්ධයෙන් ද සැලකිලිමත් වන්නැයි පොලිසියෙන් ඉල්ලීමක් කර තිබෙන බවත් පැවසූ ඇමතිවරයා ඉදිරියේ දී වෑන් රථවල පාසල් දරුවන් ප්‍රවාහනය සම්බන්ධයෙන් අවශ්‍ය විධිමත් ක්‍රියාමාර්ග ගනු ලබන බවත් ප්‍රකාශ කළා.

 

Search