නවතම පුවත්

පාසල්වල ආරක්ෂාව තහවුරු කළ හැකියි ආරක්ෂක ප්‍රධානීන්ගෙන් සහතිකයක්.

  පාසල් ආරම්භ කිරීමේ තීරණය ගෙන තිබෙන්නේ සියලු පාර්ශවයන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

              

              පාසල් වල ආරක්ෂාව තහවුරු කිරීම සදහා ත්‍රිවිධ හමුදාව පොලීසිය හා සිවිල් ආරක්ෂක බලකාය එක්ව විශේෂ ක්‍රියාන්විතයක් මේ වනවිටත් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා යුධ හමුදාවේ 14වන බල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති බ්‍රිගේඩියර් රන්දුල හත්නාගොඩ මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ මැයි මස පළමු වෙනිදා සිට අදාළ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවයි. පාසල් ආරම්භ කිරිමට නියමිත මැයි මස 06 වැනිදා දිනයට පෙර එනම් මැයි මස 05 වන දිනය වනවිට  සියලුම පාසල් භූමි සහ පාසල් අවට ආරක්ෂාව තහවුරු කිරීමට හැකිවන බව ද ඔහු සඳහන් කළා. එමෙන්ම පාසල් ආරම්භ කිරීමෙන් පසු ස්ථානීය මුර සංචාර සහ විශේෂ සෝදිසි කණ්ඩායම් පාසල් ආරක්ෂාව සඳහා යොදා ඇති බව ද සදහන් කළා.

           මෙහි දි අදහස් දැක් වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කළේ ජනාධිපතිවරයාත් කැබිනට් මණ්ඩලයත් බුද්ධි අංශයේ සහ ආරක්ෂක මණ්ඩලයේ සහතික වීම මත මැයි මස 06 වෙනි සදුදා පාසල් ආරම්භ කිරිමට තිරණය කර ඇති බව සදහන් කළා. මේ වනවිටත් දිවයිනේ සියලුම පාසල් පරික්ෂා කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇති බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා ආරක්ෂක අංශවල සහතික වීම සහ කැපවීම පිළිබදව ද සිය ස්තූතිය පිරිනැමුවා.

         අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ අදහස් පළකලේ පාසල්වල ආරක්ෂාව තහවුරු කිරීමට අදාළ මෙහෙයුම් ක්‍රියාත්මක කොළඔ නගරයේ පාසල් කිහිපයක සිදු කළ සංචාරයක් අතර තුර, කොළඔ ආනන්ද විද්‍යාලයේ දී පැවති සාකච්ඡාවට එක්වෙමින්.

     මේ අවස්ථාවට අධ්‍යාපන ලේකම් නිහාල් රණසිංහ, අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන් මෙන් ම ශ්‍රී ලංකා යුධ හමුදාවේ 14වන බල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති රන්දුල හත්නාගොඩ මහතා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් කිහිපදෙනෙකු ද එක්වුණා.

Search