නවතම පුවත්

පාසල්වල සාමාන්‍ය පරිදී අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට උපදෙස්... පාසල් ප්‍රජාව නොමඟ යවමින් පාසල් කටයුතු  කඩාකප්පල් කරන්නන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග.

පාසල් තුළ සහ ඒ අවට  ආරක්ෂක තත්ත්වයන් තහවුරු වී ඇති බව ආරක්ෂක මණ්ඩලය ප්‍රමුඛ ආරක්ෂක අංශ දැනුම් දීමෙන් පසු පසුගිය සඳුදා පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනු ලැබුවා.

ඒ අනුව මේ වන විට පාසල් වෙත සිසුන්ගේ පැමිණීම ඉහළ යමින් පාසල්වල අධ්‍යයන කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් ඇති අතර අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි පැවැත්වීමට පියවර ගන්නා ලෙසද අධ්‍යාපනය අමාත්‍යාංශය සියලු පාසල් ප්‍රධානින් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

 කෙසේ වෙතත් යම් කණ්ඩායම් පාසල් කටයුතු අඩාල වන අන්දමින් ප්‍රකාශ සිදුකරමින් සිටින බවට පැමිණිලි රැසක් අධ්‍යාපනය අමාත්‍යාංශය වෙත ලැබී ඇති අතර ඇතැම් විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්  ද, දරුවන්ට පාසල් නොපැමිණෙන ලෙස බලපෑම් කරන බවට ද තොරතුරු ලැබී තිබෙනවා.

විවිධ දේශපාලන පටු අරමුණු සහ අවස්ථාවාදී මතවාද සහ පුද්ගලික කරුණු මත පදනම්ව කටයුතු කරන එවැනි පුද්ගලයන් සහ කණ්ඩායම් සම්බන්ධයෙන් විනයානුකූල පියවර ගැනීමට අධ්‍යාපනය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

එමෙන්ම එවැනි පුද්ගලයන් සහ කණ්ඩායම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත තොරතුරු ලබාදීමට කටයුතු කරන බවද අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා.

Search