අකිල ගැන

akila_front4.jpg

ශ්‍රී ලංකා ධරණී තලයට නිදහස් සුවඳ මුසුකරලීම වෙනුවෙන් උරදුන් මහාමාත්‍ය ඞී. එස්. සේනානායක මැතිඳුන් බිහි කළ එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන මහලේකම්වරයා ඔහු යි. පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ද ඔහු යි.

එක්සත් ජාතික පක්ෂයේ හදවත බඳු, රටේ වැඩ කරන ජනතාව රොද බඳින, ජාතික සේවක සංගමයේ සභාපතිවරයා ඔහු යි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වත්මන් අධ්‍යාපන අමාත්‍යවරයා ද ඔහු යි.

අකිල විරාජ් කාරියවසම් ඒ, අපේ ආදරණීය නායකයා යි.

1995 වසරේ දී කුලියාපිටිය ආසනයේ ජාතික යොවුන් පෙරමුණේ සභාපතිවරයා ලෙසින් තේරී පත්වූ අකිල විරාජ් කාරියවසම්, 1996 වසරේ දී යොවුන් පෙරමුණු කුරුණෑගල දිස්ත‍්‍රික් සභාපති ධූරයටත්, ඉන් අනතුරුව ජාතික යොවුන් පෙරමුණේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙසත් පත්වෙනවා. ඒ අ.පො.ස. උසස් පෙළ සමත් වී කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළු වී අධ්‍යාපනය හදාරන අවදියේ දී ම යි.

එයින් ද නොනැවතී ජාතික යොවුන් පෙරමුණේ සමස්ත ලංකා උපසභාපතිවරයා ලෙසත් ඉන්පසු 1999 වසරේ දී එහි ප‍්‍රධාන ලේකම්වරයා ලෙසත් තේරී පත්වීම ක‍්‍රියාකාරී දේශපාලන භූමිකාව තුළ ඔහු හිනිපෙත්තට ඔසවා තබන මාවත වර්ණවත් කළා.

විශ්වවිද්‍යාල දේශපාලනය තුළ ද කැපී පෙනුණු භූමිකාවකට පණ පෙවූ මේ තරුණ නායකයා, සරසවි යොවුන් පෙරමුණට නායකත්වය දුන්නා. ඒ, 1999 වසරේ දී බලය හෙබ වූ චන්ද්‍රිකා කුමාරණතුංග රජයේ ඊනියා අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණවලට එරෙහි ව රට පුරා ගෙන ගිය දැවැන්ත ශිෂ්‍ය අරගලයට ජීවය ලබා දෙමින්.

එහි දී අත්අඩංගුවට පත් මේ තරුණ දේශපාලන නායකයා සිරභාරයට ද පත් වුණා.

ඉන් තම ජීවිතයේ සටන්කාමී දේශපාලනය තවදුරටත් මුවහත් කරගත් ඔහු 2001 පාර්ලිමේන්තු මහමැතිවරණයේ දී කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තරග වදිනුයේ, කිසිදු ආසන සංවිධායක ධූරයක් හෝ නොදරමින් සිටි පසුබිමක වයස අවුරුදු 28 දී යි.

ඉන් අනතුරුව 2003 වසරේ දී පඬුවස්නුවර එක්සත් ජාතික පක්ෂ සංවිධායක ධුරයට තේරී පත්වන අකිල විරාජ් කාරියවසම් මහතා2004 පාර්ලිමේන්තු මැතිවරණයේ දී මනාප ඡන්ද 83,114ක් ලබාගෙන කුරුණෑගල මනාප ලයිස්තුවේ තුන්වැනි තැන හිමි කර ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්වනවා.

2004 වසරේ දී පාර්ලිමේන්තුව විසුරුවා හැර එක්සත් ජාතික පක්ෂය විපක්ෂය බවට නැවත තල්ලු කර දැමූ මොහොතක වුව ද, ධෛර්යයසම්පන්න ව අභියෝගවලට මුහුණ දෙමින් විපක්ෂයේ භූමිකාවට සක්‍රීය ලෙස සිය දායකත්වය සැපයූ මේ තරුණ නායකයා, දශකයකටත් වැඩි කාලයක් එක්සත් ජාතික පක්ෂ ඡායා කැබිනට්ටුව තුළ අධ්‍යාපන විෂය භාර මන්තී‍්‍රවරයා ලෙසින් සිය මෙහෙවර ඉටු කළා. ඒ, රටේ අධ්‍යාපනය පිළිබඳ ආණ්ඩුව ගන්නා තීන්දු තීරණ ගැන හා රටේ දරු පරපුර පිළිබඳ සිය නිරන්තර අවධානය යොමු කරමින්. අගය කළ යුතු දේ අගයමින්, හෙළා දැකිය යුතු දේ හෙළා දකිමින් සිය විපක්ෂ කාර්යයභාරය මැනවින් ඉටු කළ අකිල විරාජ් කාරියවසම් මහතා, 2005 වසරේ දී කුලියාපිටිය එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක ධූරයට පත්වුණා.

තරුණ ජවය පක්ෂය වටා ගොනු කරමින් සිය සටන්කාමී දේශපාලනය ක්‍රියාත්මක කළ ඔහුට 2007 වසරේ දී ජාතික යොවුන් පෙරමුණේ සභාපති තනතුර ද හිමිවුණා. ගමින් ගමට ගොස් යොවුන් පෙරමුණ ප‍්‍රතිසංවිධානය කිරීමේ වගකීම එතුමා සිය උර මතට ගන්නේ ජීවිත තර්ජන, බිය වැද්දීම් සහ අනේකවිධ අභියෝග රාශියක් මැදයි.

2010 වසරේ පැවති මහමැතිවරණයේ දී කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ දෙවැනි ස්ථානයට තේරී පත් වූ හෙතෙම පක්ෂයට අභියෝග, අපවාද එල්ලවන සෑම අවස්ථාවල දී ම පක්ෂයේ උන්නතියත් පාක්ෂිකයන්ගේ අභිලාසයත් වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටියා.

බැරෑරුම් අවස්ථාවන්හි දී කිසිදු ලෙසකින්වත් පක්ෂයත් පක්ෂ නායකත්වයත් තනි නො කොට  ඒ සමඟ එක් ව සිටගත්තේ  එය කළ යුතු වගකීම සහ යුතුකම බව අන් අයට ද පසක් කර දෙමින්.

දක්ෂ කථිකත්වයත්, නායකත්වයත් ප‍්‍රදර්ශනය කරමින් විපක්ෂයේ වේදිකාව තුළ තමාට ම ආවේණික ශෛලියකින් ඔහු ජන හදවත් තුළ ලැගුම් ගත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේත්, සාධාරණත්වයේත්, යුක්තියේත් බලාපොරොත්තු දල්වාලමින්.

එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල දිස්ත‍්‍රික් නායකයා ලෙසින් සේනා සංවිධානය කරමින් එවකට පැවති මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව ගෙන ගිය ජන අරගලයට  නායකත්වය සපයන මේ තරුණ නායකයා, 2015 වසරේ ජනවාරි 8 වැනි දා සිදු වූ බලපෙරළිය වෙනුවෙන් භාරදූර කාර්යභාරයක් ඉටු කළා.

රටට යහපාලනය උදාකරනු වස්, දේශපාලන භේද පසෙක ලා නිර්මාණය කරන ලද නව රජයෙහි අධ්‍යාපන අමාත්‍ය ධූරය ඔහුට හිමිවුණා.  ඒ 2015 ජනවාරි මස 12 වැනි දා යි.

වසර ගණනාවක් විපක්ෂය තුළ අධ්‍යාපනය භාර මන්ත‍්‍රීවරයා ලෙස මෙරට අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ගැටළු පිළිබඳ ලැබූ පුළුල් දැනුම සහ අවබෝධය, සිය නව අමාත්‍ය ධූරයේ කාර්යයන් සාර්ථක කරගැනීම සඳහා ඔහු යොදා ගත්තේ නායකත්ව ගුණාංග නැවත නැවතත් පසක් කරමින්.

2015 ජනවාරි 8 වැනි දා ජනතා පරමාධිපත්‍ය බලය හමුවේ පරාජයට පත් මහින්ද රාජපක්ෂ මහතා නැවත වතාවක් 2015 අගෝස්තු මස17 වැනි දා පැවති මහමැතිවරණයට ඉදිරිපත් වන්නේ පාර්ලිමේන්තුවට තේරී පත්වීමේ අරමුණින්.

ඔහු එහි දී තරග කිරීමට තෝරාගන්නේ කුරුණෑගල දිස්ත‍්‍රික්කය යි. විපක්ෂයේ සිටිය දී ලැබූ පන්නරය තුළින්  ඕනෑම අභියෝගයකට සාර්ථකව මුහුණ දීමේ ගුණාංගය පුහුණු කළ අකිල විරාජ් කාරියවසම් මහතා එක්සත් ජාතික පක්ෂයේ අභිමානය වෙනුවෙන් ඇතුගල මෙන් නොසැලී සිය දේශපාලන මෙහෙවර ඉටු කළා.

2015 මහමැතිවරණයේ දී මනාප ඡන්ද 2,86155 ක් ලබාගනිමින්  කුරුණෑගල දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්ෂයේ පළමුවැන්නා ලෙස නැවත තේරී පත්වුණා. ඒ මෙවර මැතිවරණයෙන් වත්මන් අගමැතිවරයා හැරුණුකොට එක්සත් ජාතික අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප ඡන්ද ප‍්‍රමාණය ලබා ගනිමින්.

ඉන්පසු නව රජයේ ද අධ්‍යාපන අමාත්‍ය ධූරය ඔහුට හිමි වන අතර, පෙර පැවති විෂයය පථයට අමතරව පුරාවිද්‍යා සහ සංස්කෘතික විෂයයන්ගේ වගකීම ද ඔහු වෙත පැවරෙනවා.

දූෂණ සහ අක‍්‍රමිකතාවන්ට එරෙහි ව සහ රටේ දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් තීන්දු තීරණ ගනිමින් නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කරන පසුබිමක් තුළ රාජ්‍ය නිලධාරීන්ගේ අභිමානය ද ආරක්ෂා කරමින් සිය දේශපාලන නායකත්වය ලබාදීමට ඔහු කටයුතු කරන්නේ, එක්සත් ජාතික පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමන් සහ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිඳුන්ගේ නොමඳ ආශිර්වාදයත් සමඟ යි.

එමෙන් ම දේශදේශාන්තරයන් තුළ ශ‍්‍රී ලංකාවේ කිතුගොස නංවමින් 2015 වසරේ සිට එක්සත් ජාතීන්ගේ අනුබද්ධ ආයතනයක් වූ යුනෙස්කෝ සංවිධානයේ මෙරට සභාපතිවරයා ලෙස තේරී පත්වන අකිල විරාජ් කාරියවසම් මහතා රටවල් 186 ක් අතරින් රටවල්149ක ඉහළ ඡන්ද සංඛ්‍යාවක් හිමි කරගනිමින් යුනෙස්කෝ සංවිධානයේ විධායක කමිටු සාමාජිකයෙකු ලෙස තේරී පත්වන්නේ ජාත්‍යන්තර සබඳතාවන්හි රන් හුයක් බවට පත්වෙමින්.

ඒ, 1968 වසරේ සිට අද දක්වා ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තනතුර සඳහා ඉදිරිපත් ව ලබාගත් ඉහළ ම ඡන්ද ප‍්‍රමාණය ද හිමි කරගනිමින්. එමෙන් ම සෙසු සාමාජිකයන් අතරින් ළාබාලතම සාමාජිකයා ඔහු වීම ද, විශේෂත්වයක්.

අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ඔහු විසින් ක්‍රියාත්මක කළ වැඩසටහන් රැසක් මේ වන විටත් රටේ ලක්ෂ සංඛ්‍යාත දූදරුවන් වෙනුවෙන් සක්‍රිය ව පවතිනවා.

දූෂණ අක්‍රමිකතා, කොමිස් වංචාවලට තිත තබමින් දරුවන්ගේ පාසල් නිල ඇඳුම් වෙනුවෙන් රජය වෙන් කරන ප්‍රතිලාභ ක්ෂය වීමකින් තොර ව දරුවන් අතට ම පත් කිරීමේ අරමුණින් හඳුන්වා දුන් නිල ඇඳුම් වවුචර් ක්‍රමය,

ජනප්‍රිය පාසල් මානසිකත්වය තුළ දුක්විඳින දරුවන් හා මවුපියන් වෙනුවෙන් තමන්ගේ නිවසට සමීපතම පාසල හොඳ ම පාසල බවට පත් කිරීමේ අරමුණින් දියත් කළ ළඟ ම පාසල හොඳ ම පාසල වැඩසටහන,

එතුමන්ගේ සංකල්පයට අනුව ක්‍රියාවට නැංවෙන්නක්. නමින් පමණක් සුපිරි පාසල් වෙනුවට සියලු පහසුකම් සපිරි පාසල් නිර්මාණය කරමින් නගරයට පමණක් කේන්ද්‍ර වී තිබූ භෞතික සහ මානව සම්පත් ගම්බද පාසල්වලට ද ලබා දෙමින් නිදහස් අධ්‍යාපනයේ සැබෑ අර්ථය ප්‍රායෝගික තලයෙහි ක්‍රියාත්මක කිරීම මෙම වැඩසටහනෙහි අරමුණ යි.

නූතනත්වයට ඔබින රැකියා වෙළෙඳපොළ ජය ගත හැකි තරුණ පුරවැසියන් නිර්මාණය කිරීම වෙනුවෙන් සහ නවයොවුන් වියේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය ලබා දීමේ වැඩසටහන ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන්නක්.

සාමාන්‍ය පෙළ කඩඉම ජය ගත නො හැකි ව පාසල් අධ්‍යාපනය අතහැර යන ලක්ෂ සංඛ්‍යාත දරුවන්ගේ සුරක්ෂිත හෙට දවස වෙනුවෙන් වෘත්තීමය අධ්‍යාපනයක් පාසල් පද්ධතිය තුළ දී ම ලබා දීම ද මේ වැඩසටහන යටතේ ක්‍රියාවට නැංවෙන්නක්.

නවීන තාක්ෂණ පන්ති කාමරය තුළට කැන්දාගෙන එමින් මෙරට ප්‍රථම වතාවට ඉදිරිපත් කෙරුණු සුහුරු පන්ති කාමර (Smart Classroom)  වැඩසටහනේ පුරෝගාමියා ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා යි.

ලක්ෂ 45ක් වන රටේ සියලු පාසල් දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂණය තහවුරු කරමින් වසරකට  රුපියල් ලක්ෂ දෙක බැගින් වන සුරක්ෂා රක්ෂණාවරණය  ලබා දෙමින් මවුපියන් වෙත පැවරී තිබූ වගකීමෙන් කොටසක් රජය වෙත ලබා ගැනීමට ද එතුමා නායකත්වය ලබා දුන්නා.

දේශපාලන බලපෑම්වලින් ඔද්දල් ව, වල් වැදී තිබූ අධ්‍යාපන පද්ධතිය ඉන් මුදාගෙන නිසිකලට තරඟ විභාග පවත්වා දේශපාලන භේදයකින් තොර ව, සුදුස්සන් සුදුසු තැන් හි පිහිටුවා, ඔවුන්ගේ සක්‍රිය දායකත්වය මෙරට අධ්‍යාපන පද්ධතිය වෙත ලබා ගැනීමට අවශ්‍ය මඟපෙන්වීම ලබා දීමට ද මේ ජනතාවාදී අමාත්‍යවරයා කටයුතු කර තිබෙනවා. දස වසරකින් නො පැවැත්වූ විදුහල්පතිවරුන් බඳවා ගැනීමේ තරඟ විභාග පවත්වා, 21,000ක් අතුරින් විශිෂ්ටතමයින් 3,901 දෙනෙකු විදුහල්පති (iii) වන ශ්‍රේණියට එක් කර ගැනීමට කටයුතු කළ එතුමා, ඔවුන්ගේ සේවය විදුහල්පතිවරුන් ලෙසින් ම පද්ධතියට ලබා ගැනීම සඳහා අවශ්‍ය සියලු කටයුතු ඉටු කිරීමට පියවර ගත්තා.

වසර ගණනාවකින් පුරවා නො තිබූ පුරප්පාඩු පැවති අධ්‍යාපන පරිපාලන සේවයේ පත්වීම් 852ක් සඳහා සීමිත හා විවෘත තරඟ විභාග පවත්වා අතිදක්ෂයින් බඳවා ගැනීමට ද එතුමා කටයුතු කළා.

ඉන් නො නැවතී, ඔවුන් තුළ නායකත්ව, කළමනාකරණය ඇතුළු ගුණාංග සංවර්ධනය කරලීම සඳහා දෙස්විදෙස් පුහුණු අවස්ථා ලබා දීමට ද පියවර ගන්නේ මානව සම්පත සංවර්ධනය, අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය සඳහා ලබා දෙන මා හැඟි සහාය පිළිබඳ දුරදක්නා නුවණින් යුක්ත ව යි.

අදූරදර්ශී දේශපාලන අතපෙවීම් හේතුවෙන් පාසල් පද්ධතිය තුළ පවතින ගුරුවරුන් බෙදී යාමේ විෂමතාවන් සඳහා ස්ථිරසාර විසඳුමක් ලබා දීමේ අරමුණින් ජාතික මට්ටමින් ගුරු තුලනයක් ඇති කිරීම සඳහා පුරෝගාමී මෙහෙවර ඉටු කරන්නේ ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා යි.

පාසල් දරුවන් තුළ ශීඝ්‍රයෙන් හිස ඔසවන බෝ නො වන රෝග වළක්වා ගනිමින්, පාසල් ප්‍රජාව නීරෝගී, ජව සම්පන්න තරුණ ප්‍රජාවක් ලෙස සමාජගත කිරීමටත්, ලොව දිනන ක්‍රීඩකයින් බිහි කිරීමටත් අවශ්‍ය මාවත විවර කරමින් පාසල් ක්‍රීඩාව නංවාලීම සඳහා පස් අවුරුදු සැලැස්මක් හඳුන්වා දීම සඳහා ද එතුමන් මුල පුරන්නේ පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ අද්විතීය වෙනස්කම් රැසක් සිදු කරමින්.

වැරදි ආහාර පුරුදු සහ කෘත්‍රිම ආහාර, පැණිබීම වර්ග භාවිතය තුළින් දරුවන්ට මුහුණ දීමට සිදු වන පෝෂණ විෂමතා ආශ්‍රිත රෝගාබාධයන්ගෙන් ඔවුන් මුදා ගැනීම සඳහා පාසල් ආපන ශාලා නියාමනය කිරීමේ ක්‍රමවේදයට අධ්‍යාපන අමාත්‍යංශය මුල පුරන්නේ ද අමාත්‍යතුමන්ගේ උපදෙස් මත යි.

දූෂණ අක්‍රමිකතා, වංචා, ගසාකෑම් මෙන් ම අකාර්යක්ෂමතාව, ප්‍රමාදය සහ නිලධාරීවාදයට තිත තබමින් වේගයෙන් සංවර්ධනය වන අවශ්‍යතාව අනුව වෙනස් වන සමාජ සාධාරණය, සංස්කෘතිය අගයන යහපත් පුරවැසියන් පිරිසක් රට වෙනුවෙන් නිර්මාණය කළ හැකි අධ්‍යාපන පද්ධතියක් බිහි කිරීමට මේ තරුණ අධ්‍යාපන අමාත්‍යවරයා මේ වන විටත් සවිමත් අත්තිවාරමක් ඉදිකොට අවසන්.

ගතානුගතික, සමාජයට නොගැලපෙන, යල් පිනූ චක්‍රලේඛ වෙනස් කරමින් කාලෝචිත ව නව චක්‍රලේඛ නිකුත් කිරීම සඳහා උපදෙස් ලබා දෙමින් එතුමා මෙරට අධ්‍යාපන පද්ධතියට ලබා දෙන දායකත්වය සමස්ත ජනතාවගේ ප්‍රණාමයට පත් ව තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයට අමතර ව අමාත්‍යවරයා වෙත පැවරී තිබූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව, පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය, ටවර් හෝල් රඟහල පදනම, අපේගම ඇතුළු ආයතන රැසකට ද නායකත්වය ලබා දෙමින් ඒවා වඩාත් සක්‍රීය ආයතන බවට පත් කිරීමටත්, ඒවායේ උපරිම ප්‍රතිඵල අත් කර ගැනීමටත් අවශ්‍ය මඟපෙන්වීම ලබා දෙනු ලැබුවා.

ටවර් හෝල් කලාකරුවන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමට පුරෝගාමී වූ අකිල විරාජ් කාරියවසම් මැතිතුමන් රෝගී වූ සහ විශේෂ අවශ්‍යතාවන් සහිත කලාකරුවන් වෙනුවෙන් අතහිත ලබාදීම සඳහා ද විශේෂ වැඩසටහන් රැසක් හඳුන්වාදීමට කටයුතු කරනු ලැබුවා.

පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය නව තාක්ෂණික ක්‍රමවේදයන්ගෙන් සවිබල ගැන්වීම සඳහාත්, ඩිජිටල් තාක්ෂණය ඒ සඳහා හඳුන්වාදීමටත් පුරෝගාමී මෙහෙවරක් මේ වනවිටත් ඉටු කර අවසන්.

රටේ ඓතිහාසික උරුමය රැකගැනීමේ භාරදූර වගකීම සිය ප්‍රමුඛ කාර්ය කරගත් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන් ජාතියේ ජීවනාලිය බඳු ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව සහ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සංවර්ධනය කිරීම සඳහා නූතනත්වයට ගැළපෙන අයුරින් නවීකරණය කිරීම සඳහාත් සිය නායකත්වය ලබාදුන්නා.

ලෝක උරුමයක් වන සීගිරියේ බිතුසිතුවම් සංරක්ෂණ කිරීම සඳහා විදේශීය විශේෂඥ සහාය ලබා ගැනීමේ කටයුත්තේ දී ද අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා පුරෝගාමී මෙහෙවරක යෙදුණා.. පුරාවිද්‍යා කැණීම්, නව සොයාගැනීම් පිළිබඳ නිරන්තර කරුණු සොයා බලමින් ඒවාට අවශ්‍ය පහසුකම් ලබා දීමේ කටයුත්ත ද නොපිරිහෙළා ඉටු කරන්නට එතුමන් මැදිහත්වුණා.

සංචාරක ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ද සිය අමාත්‍යාංශය හරහා ඍජු දායකත්වයක් ලබා දුන් අධ්‍යාපන අමාත්‍යවරයා, මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ ඇති පුරාවිද්‍යා ස්ථාන (සීගිරිය, අනුරාධපුරය, පොළොන්නරුව, කතරගම, මහනුවර, අපේගම..ආදී) සියල්ලෙහි පහසුකම් සංවර්ධනය කරමින් සංචාරක ආකර්ෂණය දිනා ගත හැකි ලෙස ඒවා නවීකරණය කිරීම සඳහා ද කටයුතු සකස් කරනු ලැබුවා.

මීට අමතරව සංචාරක ආකර්ෂණය දිනාගත හැකි අයුරින් අපගේ පාරම්පරික උරුමය සංරක්ෂණය කිරීමටත් ඒවා මතු පරපුරට උරුමකරදීම සඳහාත් රජය විසින් ගෙන යන වැඩසටහන සඳහා සක්‍රීයව දායකත්වය ලබාදුන්නේ ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්.

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් සිය කැපවීම හා නායකත්වය නොපිරිහෙළා ලබාදෙමින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2017 වසරේ සිට ලෝක බෞද්ධ තරුණ සංඝ සභාවේ ගිහි සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීමට ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සමත් වීම රටට ඉමහත් අභිමානයක්.

දේශදේශාන්තරයන්හි කිතුගොස නංවමින් ශ‍්‍රී ලංකා මාතාවගේ අභිමානයත් උන්නතියත් වෙනුවෙන් නිරන්තරයෙන් කැපවන අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා, ජනතා සුබසිද්ධිය වෙනුවෙන්, ඔවුන් නොමැති තැන ඔවුන් සුරක්ෂිත කිරීමේ වගකීම ද සියතට ගනිමින් නීතිගරුක සහ යුක්තිගරුක මහජන නියෝජිතයෙකුගේ භූමිකාව තුළ ඇත් රජෙකු සේ නොසැලී ඉදිරියට ගමන් කරනවා.

දැක්ම

හඬක් ඇති තාරුණ්‍යයට හඬ නගන්න අවස්ථාවක් දීමත් අනාගතය වෙනුවෙන් හඬ නගන තාරුණ්‍යයට ශ්‍රී ලංකාවේ අනාගතය භාර දීමත් මගේ දේශපාලන දර්ශනයයි.

මෙහෙවර

"තරුණ කමට හඬක් " - "තරුණ හඬට රටක් "

අකිල නම්,

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ගරු අධ්‍යාපන අමාත්‍යවරයා ඔහුයි. මෙරට ප්‍රබලතම දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම්වරයා ඔහුයි. ජේ ආර් ජයවර්ධන ශ්‍රීමතාණන් බිහි කළ එක්සත් ජාතික පක්ෂයේ හදවත බඳු ජාතික සේවක සංගමයේ වත්මන් සභාපතිවරයා ද ඔහුයි. එක්සත් ජාතික පක්ෂයේ වත්මන් මාධ්‍ය ප්‍රකාශකවරයා වන්නේ ද ඔහුයි.

කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයෙන් සිය මූලික සිප් සතර හදාරා, කොළඹ විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ උපාධියත් ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයෙන් නීති උපාධියත් හිමිකරගත් ඔහු, මෙරට රජයේ විශ්ව විද්‍යාල දෙකකින් ද්විත්ව උපාධියක් ලබාගත් දේශපාලන නායකයෙකි. පසුගිය 2015 මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිඳුන්ට පමණක් දෙවැනිව ලක්ෂ 3 ආසන්න වැඩිම ජනතා මනාපය දිනූ ජන නායකයා ද ඔහුයි.

ජාත්‍යන්තර බන්ධුතාවයන්හි රන් හුයක් වෙමින්, රටවල් 186ක් අතුරින් රටවල් 149ක ඡන්දයෙන් යුනෙස්කෝ සංවිධානයේ විධායක සභාවට තේරී පත්වූ මෙරට ළාබාලතම දේශපාලනඥයා ඔහුයි. මෙරට යුනෙස්කෝ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සභාපතිවරයා ඔහුයි.

මෙරට ලක්ෂ 43 කට ආසන්න පාසල් දරුවන් මෙන්ම දෙලක්ෂ තිස්දහසකට ආසන්න ගුරුවරුන් වෙනුවෙන් කැපවූ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ගරු අධ්‍යාපන අමාත්‍යවරයා ඔහුයි.

නීතිඥ අකිල විරාජ් කාරියවසම්, ඔහු යුගයට අවැසි පරිණතභාවයේත්, විචක්ෂණශීලීභාවයේත්, නිහතමානීභාවයේත් සලකුණයි.

Search