නවතම පුවත්

තමන්ගේ කාලය තුළ කුරුණෑගලට ලබාදුන් ආයෝජන යළි හරවා දැමීමට ඇතැමුන් කටයුතු කරන බව හිටපු අධ්‍යාපන අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

කුලියාපිටියට ලබාදුන් තාක්ෂණ විද්‍යා පීඨය ද මේවනවිට වත්මන් රජය විසින් අත්හිටුවා ඇති බව යි ඔහු සඳහන් කරන්නේ.

 

කුලියාපිටිය මානෑව ප්‍රදේශයේදී එ.ජා.ප. කාර්යාලය ජනතා අයිතියට පත් කිරීම එක්සත් ජාතික පක්ෂ මහලේකම්, හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

එහිදී පැවති ජනහමුවට ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටි අතර ඔවුන් සඳහන් කළේ තමන් කිසිදා පක්ෂය අතැර නොයන බවයි.

පක්ෂය ආරක්ෂාකරමින් මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කරන කාර්යභාරය වෙනුවෙන් ඔහුව ආරක්ෂා කිරීමට දිවිහිමියෙන් කටයුතු කරන බව ද රැස්ව සිටි පිරිස සඳහන් කළා.

 

 

 

 

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මෙරට දේශපාලනයේ වෙනස් මගක් ගත් නායකයෙකි.

ඔහුගේ ජීවිතය අලලා ලියවුණු ' ජනවරමක හෘද සාක්ෂිය ' පහතින් ගොස් කියවිය හැකියි

 

ජනවරමක හෘද සාක්ෂිය මෙතැනින් ගොස් කියවන්න

 

විනාශ වී ගිය ආර්ථිකයක්, පිරිහී ගිය සදාචාරයක් සහිත රටක් භාරගනිමින් ගත වූ වසර කිහිපය තුළ උපරිම වේගයෙන් වැඩ කළ බවත්, ඒ නිසා මෙම ජනාධිපතිවරණ සටන නිසැකව ම ජයගන්නා බවත් එක්සත් ජාතික පක්ෂ මහලේකම්, අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය. මහලේකම්වරයා මේ අදහස් පළ කළේ  ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් අද (12) කුලියාපිටියේ පැවති අවසන් ජනහමුවට එක්වෙමිනි.

මෙහි දී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා, “අවුරුදු තුනහමාරක් තිස්සේ හොඳම අමාත්‍යාංශ ටික ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දීලා, පළාත් සභා පවා නැතුව, රාජපක්ෂලා ඉවරකරල ගියපු භාණ්ඩාගාරය, විනාශ කරල ගිය ආණ්ඩුව, ඔවුන් විනාශ කරලා ගිය  සදාචාරය, මේ රටේ ආර්ථිකය, මේ රටේ ජාත්‍යන්තර ව අපට තිබුණු කීර්තිය, මේ හැම දෙයක්ම නැති කරල ගිය රටක් භාර අරගෙන අපි කරපු හරිය මදිද කියල මම තමුන්නාසෙලගෙන් අහන්න කැමතියි. තමුන්නාසෙලා දන්නවා..අපි හොදට කැප වෙලා වැඩ කළා. අපට යන්න පුළුවන් උපරිම වේගයෙන් අපි වැඩ කළා...” යැයි පැවසීය.

පක්ෂයක් වශයෙන් සාමූහික ව මුල සිට ම කටයුතු කළ බවත්, ඒ නිසා මෙවර එක්සත් ජාතික පක්ෂයට විජයග්‍රහණය නියත වශයෙන් ම හිමි වන බවත් ප්‍රකාශ කළ අමාත්‍යවරයා,

ගොඩක් අය බලාගෙන හිටියා එක්සත් ජාතික පක්ෂය කැඩෙයි, විවිධ කොටස්වලට භේද වෙයි කියලා. නමුත් අපිට පුළුවන්කම ලැබුණා ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමත් ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් ඇතුළු අපේ නායකයො හැම කෙනෙක් ම එක දරමිටක් වගේ එකමුතු වෙලා මේ ජනාධිපතිවරණ සටනට එන්න අපට පුළුවන් වුණා. මම ආඩම්බර වෙනවා මේ යුගයේ පක්ෂයේ මහලේකම් හැටියට  මේ සටන මෙහෙයවන්න අපේ උපරිම කැපවීම ලබා දෙන්න හැකිවීම ගැන. අද මේ කුලියාපිටියට ආව ජන ගංගාවෙන් ම පේනවා මේ සටන අපි දිනනවා කියලා. ”යැයි ද සඳහන් කළේය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය භාර අමාත්‍යවරයා වශයෙන් රටේ දරුවන් වෙනුවෙන් සුරක්ෂා රක්ෂණය හඳුන්වා දුන් බව ද, ළගම පාසල හොදම පාසල වැඩසටහන යටතේ රටපුරා පාසල් ගොඩනැගිලි අතිවිශාල ප්‍රමාණයක් ඉදිකර දුන් බව ද, 13 වසරක අධ්‍යාපන වැඩසටහන හදුන්වා දෙමින් සාමාන්‍ය පෙළ අසමත් දරුවන්ට ද වෘත්තීය විෂයන් ඔස්සේ අනාගතය ශක්තිමත් කරගන්නට අවස්ථාව සලසා දුන් බව ද, රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය නගාසිටුවීම වෙනුවෙන් උපරිමයෙන් ම කටයුතු කළ බව ද තවදුරටත් කරුණු දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේය. මේ අවස්ථාවට ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන් ඇතුළු පක්ෂයේ මැති ඇමතිවරුන් රැසක් එක්වූහ.

කුරුණෑගල දිස්ත්‍රික් ලක්වනිතා බලමණ්ඩලය පැවැත්වුණා. ඒ, එක්සත් ජාතික පක්ෂ මහලේකම් , කුරුණෑගල දිස්ත්‍රික් නායක, හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම බලමණ්ඩලය සංවිධානය කිරීමෙහිලා ලක්වනිතා සභාපතිනි අචිනි ලොකුබණ්ඩාර , දොඩන්ගස්ලන්ද ප්‍රා.ස. මන්ත්‍රීනි ඉන්ද්‍රානී විජේසිංහ හා අනෙකුත් මන්ත්‍රීනියන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියා. ශ්‍රී ලාංකීය කාන්තාවගේ දේශපාලන අයිතිය තහවුරු කරන පළාත් පාලන ආයතනවල මහජන මන්ත්‍රීන්ගේ නියෝජනයෙන් 25% ක් කාන්තාවන්ට ලබාදීම අති සුවිශාල දේශපාලන තීරණයක් බව හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එහිදී සඳහන් කළා. තමා අධ්‍යාපන අමාත්‍යයවරයාව සිටියදි ගර්භණී ගුරුවරියන්ට සාම්ප්‍රදායික නියමයන්ට යටත්වෙමින් පීඩාකාරී සාරී ඇදීම ඉවත්කර නිසි ඇඳුමක් තීරණය කිරීමට හැකිවීම අභියෝග ගණනාවක් මධ්‍යයේ ගත් තීරණයක් බව ඒ මහතා වැඩිදුරටත් එහිදී ප්‍රකාශ කළා.

නිදහස් අධ්‍යාපන අවස්ථා පුළුල් කරමින් සෞඛ්‍ය සම්පන්න නිරෝගි සිසු පරපුරක් බිහිකර ගැනීමේ අරමුණ ඇතිව වත්මන් රජය ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකාවේ සියලුම පාසල් දරුවන් එකවර රක්ෂණය කරමින් නොමිලේ ලබා දෙන සුරක්ෂා රක්ෂණාවරණයේ ප්‍රතිලාභ පිරිනැමීම අප්‍රමාදව සිදුකරයි.

2019 ඔක්තෝම්බර් මස 31වැනිදා වන විට සුරක්ෂා රක්ෂණ ප්‍රතිලාභ සඳහා හිමිකම් ලැබූ 40,125 දෙනෙකුට රුපියල් මිලියන 1,759 ක මුදලක් ප්‍රතිලාභ වශයෙන් ගෙවා අවසන් කර තිබේ.

අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් අනුව මෙවර සුරක්ෂා රක්ෂණාවරණයේ ප්‍රතිලාභ වැඩි කිරීමට ද විශේෂ පියවර කිහිපයක් ගෙන ඇත.

ඒ අනුව මේ වසරේ සිට සුරක්ෂා රක්ෂණාවරණයේ ප්‍රතිලාභ වැඩි කිරීමට සුවිශේෂි පියවර කිහිපයක් ගෙන ඇත. රජයේ රෝහල්ගත වන දිනකට ගෙවන මුදල රුපියල් 1.000/- සිට රුපියල් 3,000/- තෙක් වැඩි කිරීම. බාහිර ප්‍රතිකාර යටතේ ශ්‍රව්‍ය දෘෂ්‍ය උපකරණ, ඇස් කණ්ණාඩි වැනි උපකරණ ලබා ගැනීමේ හැකියාව, විශේෂඥ ‍වෛද්‍ය සේවා ගාස්තු ලබා ගැනීමේ හැකියාව, මුදල් ගෙවීමකින් තොරව රෝහල්ගත වීමේ හැකියාව, රෝහල් ගතවීමට පෙර දින 7ක් සහ රෝහලෙන් පිට වූ පසු දින 14ක් බෙහෙත් ලබා ගැනීමේ හැකියාව ද ලබා දීම ද ඒ අතර ප්‍රමුඛ වේ.

රජයේ හෝ පෞද්ගලික රෝහලක නේවාසික ප්‍රතිකාර සඳහා රුපියල් 200,000ක් ද, බාහිර ප්‍රතිකාර සඳහා රු.20,000ක් ද, අසාධ්‍ය රෝග ප්‍රතිකාර සඳහා රුපියල් 200,000ක සිට අවශ්‍යතාව අනුව ඒ සඳහා වැය වන මුළු මුදල ද, පූර්ණ අකර්මණ්‍යතාවක දී රු.200,000ක් ද, අර්ධ අකර්මන්‍යතාවක දී රු.150,000/- සිට රු. 200,000/-ක් දක්වා ද, මවුපිය වියෝවක දී එක් අයෙකුට රු.200,000/-බැගින් දෙදෙනාට ම ආවරණය ද, (පවුලේ සියලු දරුවන් සඳහා වෙන් වෙන් ව) ශිෂ්‍ය වියෝවක දී රු.150,000/- ක මුදලක් ද ප්‍රතිලාභ ලෙස පිරිනැමේ.

දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙරට පාසල් පද්ධතිය වෙත හඳුන්වා දෙනු ලැබූ මෙම සිසු රක්ෂණාවරණයෙහි ප්‍රතිලාභ අවුරුදු 5-21 වයස් සීමාවේ පසුවන සියලුම පාසල් දරුවන් වෙත නොපමාව ලබා දීම රජයේ අරමුණ බැවින් සුරක්ෂා ප්‍රතිලාභ ලබා ගැනීමේදී යම් ප්‍රමාදයක් හෝ වෙනත් ගැටළුවක් මතු වේ නම්, අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල්සෞඛ්‍ය හා පෝෂණ ශාඛාවේ 0112369369, 0113641555, 0112784872 යන දුරකථන අංකවලට අමතා ඒ සම්බන්ධව දැනුම් දෙන ලෙස ද අමාත්‍යවරයා සඳහන් කරයි.

ශ්‍රී ලංකා ගුරු උපදේශක ‍සේවාව  නමින් වෙනම සේවාවක් ස්ථාපනය කිරීම වෙනුවෙන් සම්පාදනය කරන ලද ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවා ව්‍යවස්ථාවට අද (11) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී කැබිනට් අනුමැතිය හිමි වූ බව  අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනයට මෙන් ම විෂයමාලා නවීකරණයේ දී හා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය නියාමනය කිරීමේ දී ගුරු උපදේශකවරුන්ගෙන් ඉමහත් දායකත්වයක් ලැබෙන අතර, විධිමත් සේවා ව්‍යවස්ථාවක් නොමැති ව වසර ගණනාවක් තිස්සේ නොවිසඳී පැවති මෙම ගැටළුවට ස්ථාවර විසඳුමක් ලබාදීමට හැකිවීම සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රය ලැබූ සුවිශේෂ ජයග්‍රහණයක් බව ද, විෂය භාර අමාත්‍යවරයා වශයෙන් ඒ සඳහා තමාට නායකත්වය ලබාදීමට හැකිවීම සතුටට කරුණක් බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.  

ගුරු උපදේශක කාර්යය 1960 දශකයේ සිට ම ක්‍රියාත්මක ව පවතින  අතර, මෙම සේවාවේ වැදගත්කම සහ කාලීන අවශ්‍යතාව තමා විසින් හඳුනාගත් නිසා 2016 වසරේ සිට මේ සම්බන්ධ ව ගත් කඩිනම් ක්‍රියාමාර්ග හේතුවෙන් මේ අයුරින් ශ්‍රී ලංකා ගුරු උපදේශක ‍සේවාව ස්ථාපනය කිරීමට හැකි වූ බව අමාත්‍යවරයා සඳහන් කරයි.

ඒ අනුව, ඉදිරියේ දී  ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවාව සඳහා උපදේශකවරුන් 4,471ක් බඳවා ගැනෙන අතර, මෙම සේවාව ස්ථාපනය කිරීමත් සමඟ අධ්‍යාපන ක්ෂේත්‍රයේ මෙතෙක් පැවති ශ්‍රී ලංකා ගුරු සේවය, ශ්‍රී ලංකා විදුහල්පති සේවය, ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය, අතරට අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම වෙනුවෙන් ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවාව ද අලුතින් එක්වන අතර, එහි ගෞරවය වත්මන් අධ්‍යාපන අමාත්‍යවරයාට හිමිවෙයි.  

ජාතී බේද, ආගම් බේද අතහැර අප අපේ උරුමයන් ආරක්ෂාකිරීමට අන් කවරදාටත් වඩා පෙරට පැමිණිය යුතු යුගයක් උදාවෙමින් ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. ජනතාව එසේ අවදිව නොසිටියහොත් පවතින රාජපක්ෂ රෙජීමය බුවනෙකබා රාජ සභා මණ්ඩපයට කල දේ කුරුණෑගල සියලු උරුමයන් වෙත සිදුකරන බවයි ඔහු පෙන්වා දුන්නේ. දොඩම්ගස්ලන්ද ආසනයේ එ.ජා.ප. විශේෂ ක්‍රියාකාරීන්ගේ හමුවක් අමතමින් හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

 අවුරුදු දෙසීයකට අධික ඉතිහාසයකට හිමිකම් කියන ගාල්ල බොනවිස්ටා විද්‍යාලයය හා තවත් විදුහල් තුනක් ජාතික පාසල් බවට පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යනීති‍්ඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් අනුව පියවර ගෙන තිබේ

 මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයය, මඩකලපුව, වාලච්චේනයි හින්දු විද්‍යාලයය සහ අම්පාර, ඉරක්කාමම් අල්/අෂ්රොප් මධ්‍ය මහා විද්‍යාලයය ජාතික පාසල් බවට පත්වන අනෙක් විදුහල් තුනයි.

1814 වසරේ දී ආරම්භ කරන ලද ගාල්ල බොනවිස්ටා විදුහල 2017 වසර වනවිට ශිෂ්‍ය සංඛ්‍යාව 17 කට සීමා වී වැසී යන තත්ත්වයට පත්ව තිබිණි.

 විදුහලේ ඵෙතිහාසික අගය තේරුම්ගත් අධ්‍යාපන අමාත්‍ය නීති‍ඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ මඟ පෙන්වීම හා උපදෙස් පරිදි විදුහල සංවර්ධනය කරනු ලැබීය. ආදිශිෂ්‍ය  සංගමය, පාසල් සංවර්ධන සමිතිය සහ පාසලට සහය දක්වන්නන්ගේ ද සහයෝගය ඇතිව මේ වනවිට විද්‍යාලය සීඝ්‍ර දියුණුවක් ලබා ඇත. ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක, මහාගත්කරු මාර්ටින් වික්‍රමසිංහ, මහාචාර්ය සෙනරත් පරණවිතාන, ආචාර්ය ඒ.ටී. ආරියරත්න, ආචාර්ය එඩ්වින් ආරියදාස, වැනි සුප්‍රකට පුද්ගලයන් මෙහි ආදි ශිෂ්‍යයෝ අතර වෙති.

මාලදිවයින් ජනාධිපති මව්මුන් අබ්දුල් ගයුම් මහතා ද බොනවිස්ටා විදුහලේ ආදි සිසුවෙකි. හෙතෙම පාසල් සිසුවකුව සිටිය දී 1948-1949 කාලයේ මෙරට වාසය කරන විට බොනවිස්ටා විදුහලේ ඉගෙනුම ලැබ ඇත.

පළාත් සභා යටතේ පවත්නා රජයේ පාසල් ජාතික පාසල් බවට පත් කිරිමේ දී සපුරාලිය යුතු නිර්ණායක පාදක කර ගනිමින් මෙම පාසල් ජාතික පාසල් බවට පත් කර ඇත. ඒ අනුව, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සහ පළාත් ආණ්ඩුකාරවරයාගේ එකඟතාවත්, අදාළ එක් එක් පාසල්වල සේවයේ නියුතු සියලු ම අධ්‍යයන හා අනධ්‍යයන කාර්යමණ්ඩලවල සාමාජිකයන්ගේ ද එකඟතාවත් මත මෙම පාසල් ජාතික පාසල් බවට පත් කිරීමට කටයුතු යොදා තිබේ.

කිසියම් හේතුවක් මත මෙම පාසල් ජාතික පාසලක් ලෙස රජයට පවරා ගැනීම සම්බන්ධ ව එකඟතාව පළ නොකරන අධ්‍යයන හා අනධ්‍යයන සාමාජිකයින් යම් පාසලක සිටී නම් ඔවුන් වසර 3 ක සේවා කාලයකින් පසු පළාත් රාජ්‍ය සේවයට මුදාහැරීමට ද අවස්ථාව සලසා ඇත.

අලුතින් ජාතික පාසල් ලයිස්තුවට එක්වන මෙම පාසල් හතරත් සමඟම දැනට ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ පවත්නා ජාතික පාසල් සංඛ්‍යාව 374 දක්වා ඉහළ නැංවෙයි.

නේපාලයේ කත්මණ්ඩු නුවර දී මෙවර පැවැත්වීමට නියමිත 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන සිසුන් 7 දෙනෙකු 2019 දෙසැම්බර් මාසයේ පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත අතර, අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් අනුව අධ්‍යාපනයේ තවත් සාධනීය පියවරක් සනිටුහන් කරමින් එම සිසුන්ට නේපාලයේ සිට එම විභාගයට පෙනී සිටීමේ අවස්ථාව සලසා තිබේ.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ද සහාය ඇතිව නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග සම්බන්ධීකරණය වෙමින් මෙම අනගි අවස්ථාව තරගාවලියට එක්වන සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂක ශ්‍රී ලාංකීය දූදරුවන් වෙත සලසා දෙනු ලැබේ.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නීතීරීතිවලට යටත් ව, රහස්‍යභාවය, විශ්වසනීයබව හා ආරක්ෂාකාරීබව පවත්වාගනිමින් ශ්‍රී ලංකාවේ එම විභාගය පැවැත්වෙන වේලාවට අනුරූපව මෙම සිසුන් සඳහා නේපාලයේ කත්මණ්ඩු නුවරදී සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට පියවර ඇත. ඒ  වෙනුවෙන් නේපාලය බලා පිටත්ව යන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් විසින් මෙම විභාගය සියලු අධීක්ෂණ කටයුතු සිදුකරන අතර එම නිලධාරීන්ගේ ගුවන් ප්‍රවේශපත් හා නවාතැන් සඳහා වියදම් ජාතික ඔලිම්පික් කමිටුව විසින් දැරීමට එකඟ වී ඇත.

අධ්‍යාපනයෙන් බිහිකළ යුත්තේ සමබර පෞරුෂයෙන් යුත් දරු පරපුරක් වන බවත්,  ක්‍රීඩාව නිසා විභාග හෝ විභාග නිසා දරුවන්ගේ ක්‍රීඩා හැකියාවන් හෝ අතපසුකිරීමට ඉඩ නොතබා  මේ අයුරින් කටයුතු කිරීමට හැකිවීම අධ්‍යාපනයේ සාධනීය පියවරක් බවත් මේ සම්බන්ධ ව අදහස් පළ කරමින් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.

Search