නවතම පුවත්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 3 වැනි පන්තියේ විදුහල්පතිවරුන් 1918ක් අලුතින් අධ්‍යාපන පද්ධතියට..

නව විදුහල්පති සේවා ව්‍යවස්ථා විධිවිධාන අනුව, දිවයින පුරා සියලු පාසල්වල පවත්නා 3 පන්තියේ විදුහල්පති පුරප්පාඩු සම්පූර්ණ කිරීම වෙනුවෙන් නවක විදුහල්පතිවරුන් අධ්‍යාපන පද්ධතිය වෙත බඳවා ගැනීමට කඩිනමින් කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා විසින් උපදෙස් ලබා දී ඇති අතර, ඒ අනුව අදාළ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

2018 වසර වනවිට මෙරට සියලු පාසල්වල හඳුනාගත් 3 වන පන්තියේ විදුහල්පති පුරප්පාඩු සංඛ්‍යාව 1918ක් වන අතර ඊට අදාළ ව මෙම සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම ජුලි මස 29 වැනි දා සිට ඇරඹෙයි. විදුහල්පතිවරුන් බඳවාගැනීමට අදාළ ව පැවැත්වූ තරග විභාගයෙන් ඉහළින් සමත් වූවන් අතුරින් පුරප්පාඩු සංඛ්‍යාව මෙන් දෙගුණයක් මෙම සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවනු ලබන අතර, මේ වනවිටත් අදාළ කැඳවීම් ලිපි යොමු කර ඇත.

මීට අමතර ව සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවන නිලධාරීන්ගේ නාම ලේඛනය අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk  වෙබ් අඩවියේ පළ කර ඇත. එමෙන් ම සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනයන් සහ අදාළ වේලාවන් සම්බන්ධ තොරතුරු ද හෙට (19) සිට අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කිරීමට නියමිතයි.

Search