නවතම පුවත්

සියලු ම ළමා නිවාසවල දරුවන්ට ආසන්නත ම ජාතික පාසලට ඇතුළත්වීමට අවස්ථාව ලබාදෙන්නැ’යි අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් උපදෙස්

රජයේ ලියාපදිංචි වී ඇති සියලු ම ළමා නිවාසවල සිටින මව්පියන් අහිමි දරුවන්ට අදාළ ළමා නිවාසවලට ආසන්නයේ ම පිහිටා ඇති ජාතික පාසලට ඇතුළත් වීමට අවස්ථාව සලසා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.

අමාත්‍යවරයා මේ උපදෙස් ලබා දී ඇත්තේ, ජනප්‍රිය පාසලක විදුහල්පතිනියක් විසින් පසුගිය දා ළමා නිවාසයක දරුවන් කිහිප දෙනෙකු එම ජාතික පාසලට ඇතුළත්වීමට අයදුම් කළ අවස්ථාවේ දී,  පාසලටත් විදුහල්පතිනිය වශයෙන් තමාගේත් කීර්ති නාමයට හානි වන බව පවසමින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධ ව අමාත්‍යවරයා වෙත තොරතුරක් සැළවීමත් සමඟිනි.

දරුවන්ගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කිරීමට 2015 වසරේ සිට විවිධ ප්‍රගතිශීලී වැඩසටහන් ක්‍රියාත්මක  කර තිබිය දීත්, මව්පියන් අහිමි දරුවන්ට වෙනස් කොට සැලකීම දැඩි ලෙස හෙළා දකින බවත්, අධ්‍යාපනයට හිතැති සියලු දෙනා කළ යුත්තේ දරුවන්ට අධ්‍යාපනයෙන් ජීවිතය ජයගැනීමේ අවස්ථා විවර කරදීම බවත් මෙහි දී අමාත්‍යවරයා තවදුරටත් අවධාරණය කරයි.  

 

Search