නවතම පුවත්

සීගිරියේ ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙළක්

Sri Lanka Tours Sigiriya06
නව ආරක්ෂිත කැමරා පද්ධතියක්
සංචාරකයින් සඳහා ඉලෙක්ට්‍රොනික් ප්‍රවේශපත්‍
චිත්‍ර සංරක්ෂණයට ජාත්‍යන්තර විශේෂඥ සහය

ලෝක උරුමයක් ලෙස ලොව පුරා ජනතාවගේ ආකර්ෂණය දිනාගත් සීගිරියේ පිහිටි පුරා විද්‍යාත්මක ස්ථාන සහ සීගිරිය නැරඹීමට පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක කැමරා පද්ධතියක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු සපයමින් මේ බව කියා සිටි අමාත්‍යවරයා, සීගිරිය නැරඹීමට පැමිණෙන සංචාරකයන් සඳහා ඉලෙක්ට්‍රොනික් ප්‍රවේශ පත්‍රයක් නිකුත් කිරීම සඳහා සැලසුම් සකස් කර ඇති අතර ඒ තුළින් ටිකට්පත් ආශ්‍රිතව පැන නැගී තිබූ අක්‍රමිකතාවන් වළක්වාගැනීමට බලාපොරොත්තුවන බව ද පැවසුවා.

මීට අමතරව කාලයක් පුරා සීගිරි චිත්‍ර සම්බන්ධව පැන නැගුණු ගැටලුකාරී තත්ත්වයන් පරීක්ෂා කර බලා වාර්තාවක් සැපයීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ඒ සඳහා දෙස් විදෙස් විශේෂඥයින්ගෙන් සමන්විත කමිටුවක් ද පත්කරනු ලැබු අතර එම කමිටු වාර්තාවට අනුව සීගිරි චිත්‍ර විනාශ වීම සඳහා බලපාන විවිධ සාධක පිළිබඳ අවධානය යොමු කර තිබුණා. දේශගුණික, කාලගුණික විපර්යාසයන් මෙන් ම වෙනත් බලපෑම් හේතුවෙන් සිදු වන හානිවීම් වළක්වාලමින් නවීන විද්‍යාත්මක සංරක්ෂණ ක්‍රමවේදයන් යොදා ගැනීමේ අවශ්‍යතාව ද ඒ හරහා මතු කර තිබූ අතර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් අනුව ජාත්‍යන්තර විශේෂඥ සහයෝගය ද ඇතිව, ලෝක උරුම සීගිරියේ බිතු සිතුවම් සංරක්ෂණය කටයුතු මේවන විටත් සිදුවෙමින් පවතිනවා.

එසේම දිවයිනේ ඕනෑම ප්‍රදේශයක ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථානයකට හෝ පුරාවස්තූන් වලට යම් හානියක් සිදු කිරීමට කවුරුන් හෝ කටයුතු කරන්නේ නම් ඒ පිළිබඳ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හෝ අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම්දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි අමාත්‍යවරයා එවැනි හානි වැළක්වීම සඳහා වහාම පියවර ගැනීමට තමා නිලධාරීන්ට උපදෙස් දී ඇති බව ද අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

Search