නවතම පුවත්

 ‘සුරක්ෂා’ සිසු රක්ෂණයෙන් මේ වනවිට රුපියල් මිලියන 777ක ප්‍රතිලාභ ගෙවා අවසන්

 ශ්‍රී ලංකාවේ සියලු ම පාසල් දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින් අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ මූලිකත්වයෙන් ක්‍රියාවට නැංවෙන සුරක්ෂා රක්ෂණාවරණ යටතේ මේ වනවිට (2018-12-01 සිට 2019-07-29 දින වනවිට) රුපියල් මිලියන 777ක (රුපියල් 777,450,867 /-ක ) ප්‍රතිලාභ ලබාදී තිබේ. ගෙවී ගිය කාලය තුළ රක්ෂණ හිමිකම් වෙනුවෙන් ලැබී ඇති  ඉල්ලීම්  සංඛ්‍යාව 17,308 කි.

ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකාවේ සියලු ම පාසල් දරුවන් එකවර රක්ෂණය කරමින් නොමිලේ ලබාදෙන මෙම සිසු රක්ෂණාවරණය මගින් දරුවන්ගේ රෝගාබාධ, හදිසි අනතුරු හා විපත් හමුවේ දෙමව්පියන්ටත්, දෙමව්පියන් අහිමිවීමක දී දරුවන්ටත් දරන්නට වන ආර්ථික පිරිවැය රජය විසින් පවරාගෙන සිටින අතර, දිවයින පුරා විසිර සිටින, විවිධ ආර්ථික මට්ටම්වල පසුවන ඕනෑම මව්පියෙකුට දරුවන්ගේ අසනීප තත්වයන් හමුවේ දෙවරක් නොසිතා අවශ්‍ය පූර්ණ ප්‍රතිකාර වෙත යොමුවන්නට ද මේ හරහා ඉඩප්‍රස්ථා සලසා තිබේ.


රජයේ සියලු පාසල් හා පිරිවෙන්වල සහ ද පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල්වල අවුරුදු 5-21 වයස් සීමාවේ පසුවන, මිලියන 4.5කට ආසන්න සියලු සිසුන් සුරක්ෂා රක්ෂණයට හිමිකම් කියන අතර, මෙම රක්ෂණ හිමිකම යටතේ රජයේ හෝ පෞද්ගලික රෝහලක නේවාසික ප්‍රතිකාර සඳහා රුපියල් 200,000/-ක් ද, බාහිර ප්‍රතිකාර සඳහා රු 20,000/-ක් ද, අසාධ්‍ය රෝග ප්‍රතිකාර  සඳහා රුපියල් 200,000 සිට අවශ්‍යතාව අනුව ඒ සඳහා වැයවන මුලු මුදල ද, පූර්ණ අකර්මණ්‍යතාවක දී රු 200,000ක් ද, අර්ධ අකර්මණ්‍යතාවක දී 150,000/- සිට රු 200,000/-ක් දක්වා ද මව්පිය වියෝවක දී එක් අයෙකුට රු 200,000/ බැගින් දෙදෙනාටම ආවරණය ද, (පවුලේ සියලු දරුවන් සඳහා වෙන් වෙන් ව) ශිෂ්‍ය වියෝවක දී රු150,000/- ක මුදලක් ද ප්‍රතිලාභ ලෙස පිරිනැමේ. 


අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස්  අනුව, මෙවර සුරක්ෂා රක්ෂණාවරණයේ ප්‍රතිලාභ වැඩිකිරීමට ද සුවිශේෂී පියවර කිහිපයක් ගෙන ඇත. රජයේ රෝහල්ගතවන දිනකට ගෙවන මුදල රුපියල් 1000/- සිට රුපියල් 3000/- තෙක් වැඩිකිරීම, බාහිර ප්‍රතිකාර යටතේ ශ්‍රව්‍ය-දෘශ්‍ය උපකරණ, ඇස් කන්නාඩි වැනි උපකරණ ලබාගැනීමේ හැකියාව,විශේෂඥ වෛද්‍ය සේවා ගාස්තු ලබා ගැනීමට හැකියාව, මුදල් ගෙවීමකින් තොරව රෝහල්ගතවීමේ හැකියාව සහ රුපියල් 200000 ඉක්මවන විට අමතරව වැඩිවන මුදල පමණක් දැරීමට අවස්ථාව, අසාධ්‍ය රෝග ආවරණය, රෝහල්ගතවීමට පෙර දින 7ක් සඳහා සහ රෝහලෙන් පිට වූ පසු දින 14ක් දක්වා බෙහෙත් ලබාගැනීමේ හැකියාව ද ලබා දීම  ඒ අතර ප්‍රමුඛ වේ.


දෙමාපිය වියෝවක දී හදිසි අනතුරු මරණ සඳහා පමණක් ලබාදුන් රක්ෂණ ප්‍රතිලාභය ස්වභාවික මරණ හදිසි අනතුරු මරණ යන සියල්ල ආවරණය කරමින් ලබාදීම, (සියදිවි නසාගැනීම් වැනි නීතිවිරෝධී මරණ හැර) මානසික ආබාධ, පෝෂණ ගැටළු යන අවස්ථාවන් ද ආවරණය කිරීම ද මෙවර සුරක්ෂා රක්ෂණාවරණයේ විශේෂත්වයකි.

එමෙන් ම වෙනත් රක්ෂණ ආවරණයක් යටතේ ජීවිත රක්ෂණයක් ලබා සිටිය ද, සුරක්ෂා රක්ෂණ ප්‍රතිලාභය ද ලබාගැනීමට අවකාශ සලසා තිබේ. මීට අමතර ව රෝහල්ගතවීමක දී ලක්ෂ දෙකක සීමාව ඉක්මවා සිදුකෙරෙන බිල්පත් පියවීමක දී සුරක්ෂා ප්‍රතිලාභ හිමිකම ලබාගනිමින් ඉතිරි මුදල අනෙකුත් රක්ෂණ හිමිකමක් වේ නම් එමගින් පියවා ගැනීමට අවස්ථාව සලසා ගත හැකිය.

මේ වනවිට සුරක්ෂා රක්ෂණ හිමියන් වෙනුවෙන් සෘජු ප්‍රතිලාභ ලබාදීමට එකඟත්වය පළ කර ඇති ප්‍රමුඛ පෙළේ පෞද්ගලික රෝහල් 62ක, ඇතුළත්වීමේ ගාස්තු ගෙවීමකින් ද තොරව නේවාසික ප්‍රතිකාර ගැනීමට අවස්ථාව සලසා ඇති අතර, මෙහි දී කළ යුතු වන්නේ අදාළ රෝහල් කළමනාකාරීත්වය හරහා  සුරක්ෂා රක්ෂණ ආයතනය වෙත දැනුම් දීමක් සිදුකිරීමයි.

සුරක්ෂා හිමිකම ලබන සියලු පාසල් සිසුන් වෙත සුරක්ෂා රක්ෂණ කාඩ්පත ලබාදීමට දැනටමත් පියවර ගෙන ඇති අතර, එම කාඩ්පත නොමැති ව වුව ද  මෙම රක්ෂණ ප්‍රතිලාභ සඳහා අයදුම් කළ හැකිය.


සුරක්ෂා රක්ෂණාවරණ ප්‍රතිලාභ සඳහා අයදුම් කිරීමේ දී කළ යුතු වන්නේ,  0112369369  අංකයට හෝ 0113641555 අංකය ඇමතීම හෝ අලියාන්ස් ඉන්ෂුරන්ස් ආයතනයේ ශාඛාවකින් හෝ කලාප අධ්‍යාපන කාර්යාලයකින් අවශ්‍ය තොරතුරු ලබා ගැනීමයි.

 
මේ සම්බන්ධ ව වැඩිදුර තොරතුරු www.moe.gov.lk   අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියෙන් හෝ, පාසල් සෞඛ්‍ය හා පෝෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල ලිපිනයෙන් හෝ, කළමනාකරු, සුරක්ෂා රක්ෂණාවරණය, අලියාන්ස් ඉන්ෂුරන්ස් ලංකා ලිමිටඩ් ආයතනය, නො 46/10, නවම් මාවත, කොළඔ 02 ලිපිනයෙන්  ද ලබාගත හැකියි.

Search