නවතම පුවත්

අධ්‍යාපන පර්යේෂණ වෙනුවෙන් ගෙවීම් වැඩි කිරීමට සූදානම්

15219651 10154826136949060 6736577464454724651 n
අධ්‍යාපන ක්ෂේත්‍රයේ පර්යේෂණ වෙනුවෙන් දැනට ලබාදෙන ගෙවීම් වැඩි කිරීමට කටයුතු කිරීමට තමා සූදානම් බවත්, ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය හැකි ව්‍යාපෘති වෙනුවෙන් පර්යේෂකයින් යොමු විය යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

ඒ සදහා අධ්‍යාපන පද්ධතියේ නිරතව සිටින සියලු දෙනාට ආරාධනය කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ අද (01) මහරගම ව්‍යවසායකත්ව හා කළමනාකරණ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පැවති පාසල් පාදක සාර්ථක ගුරු ව්‍යවහාර ප්‍රචලිත කිරීමේ ජාතික සම්මන්ත්‍රණයට එක්වෙමින්.

දැනට ක්‍රියාත්මක පාසල් පාදක ගුරු සංවර්ධන ව්‍යවහාර, සමස්ත අධ්‍යාපන පද්ධතියේ සිටින නිලධාරීන්, විදුහල්පතිවරුන් හා ගුරුවරුන් අතර ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබෙනවා. ශිෂ්‍ය සංවර්ධනය ඉලක්ක කරගනිමින් ගුරු සංවර්ධනය සිදු කළ යුතු අතර එම ක්‍රියාවලිය සාමූහිකව හා පාසලේ ගුරු සංවර්ධන අවශ්‍යතා මත පදනම් වූ අඛණ්ඩ වැඩපිළිවෙළක් බවට පරිවර්තනය කිරීම සදහා පාසල් නඟා සිටුවීමේ වැඩසටහන යටතේ පාසල් පාදක ගුරු සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මකයි.

අද පැවති සම්මන්ත්‍රණය සදහා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, පළාත් හා කලාපවල පාසල් පාදක ගුරු සංවර්ධන සම්බන්ධීකරණ නිලධාරීන්, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, විදුහල්පතිවරුන්, ගුරු මධ්‍යස්ථාන කළමනාකරුවන් හා ගුරුවරුන්ගෙන් සමන්විත 400 ක පමණ පිරිසක් සහභාගි වුණා.

Search