නවතම පුවත්

වසර අවසානයට පෙර පිරිවෙන් 120 ක ඉදිකිරිම් නිම කිරිමට උපදෙස්

 

 සෑම පළාතක් ම නියෝජනය වන පරිදි තෝරා ගෙන ඇති පිරිවෙන් 120 ක ඉදිකිරීම් ව්‍යාපෘති රැසක් මේ වසර අවසානයට පෙර නිම කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පළාත් අධ්‍යාපන නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

රජයේ පාසල් අධ්‍යාපනයට සමානව පිරිවෙන් අධ්‍යාපනය සඳහා පිරිවෙන්වලට අවශ්‍ය සියලු පහසුකම් හිමිකර දීම පිණිස අධ්‍යාපන අමාත්‍ය නීතිඳ අකිල විරාජ් කාරියවසම් මහතා ගනු ලැබූ තීරණය අනුව මෙම කටයුතු සිදු කෙරෙන්නේ පිරිවෙන් අධ්‍යාපන ඉතිහාසයේ ප්‍රථම වරට බව පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ විජිත වෙලගෙදර මහතා සඳහන් කරයි.

සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, පළාත් අධ්‍යාපන ගොඩනැගිලි ඉංජිනේරු සහ ගොඩනැගිලි අධ්‍යක්ෂවරුන් ඇතුළු අදාළ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අද  (01) පැවැති සාකච්ඡාවේ දී මෙම උපදෙස් ලබා දී තිබේ.

මේ වැඩපිළිවෙළ යටතේ පිරිවෙන් 50 ක කාර්යාල ගොඩනැගිලි, නේවාසිකාගාර හා අත්‍යවශ්‍ය නඩත්තු සහ ප්‍රතිසංස්කරණ සිදු කෙරෙන බවත්, ඒ සඳහා එක් ආයතනයකට රුපියල් ලක්ෂ 60 ඉක්මවන මුදලක් වෙන් කර ඇති අතර තෝරාගත් තවත් පිරිවෙන් 70 ක අංගසම්පූර්ණ සනීපාරක්ෂක පද්ධති ඉදිකිරීමේ කටයුතු ලබන ඔක්තෝබර් මාසයට පෙර අවසන් කිරීමට ද මෙහිදී තීරණය කෙරිණි. මේ සඳහා එක් පද්ධතියකට රුපියල් ලක්ෂ 12 ක මුදලක් වෙන් කර තිබේ.

Search