නවතම පුවත්

ජීව විද්‍යා විෂය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා..

"ජීව විද්‍යා විෂය සම්බන්ධයෙන් මාස ගණනකට කලින් මම අදාළ නිලධාරීන් කැඳෙව්වා. ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්තුමිය, එහි ශාස්ත්‍රීය සභාවේ සභාපතිතුමා, ජීව විද්‍යා විෂය සකස් කිරීම සම්බන්ධ අය, විෂය නිර්දේශයට අදාළ නිලධාරීන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරු ඇතුලු සියලුම අය කැඳෙව්වා. කැඳවලා පැය 3 - 4 කට වැඩිය අපි මේ සම්බන්ධව සාකච්ඡා කරනු ලැබුවා. මගේ මාධ්‍ය ඒකකයේ අයත් කැඳෙව්වා මේ සම්බන්ධව පිළිතුරු දෙන්න කියලා. ඒ සාකච්ඡාවේ දී පැහැදිලි වුණා මාධ්‍යයේ සහ ඔබතුමන්ලා කියන දේ ඇත්ත නොවන බව. යථාර්ථය ඒක නෙවෙයි. ඇත්ත වශයෙන් ම එම ගැටලුව එදාම විසඳීමට අවශ්‍ය පියවර ගත්තා."

අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා එසේ ප්‍රකාශ කළේ, ජීව විද්‍යා විෂය නිර්දේශයේ ගැටලු පවතින බව සඳහන් කරමින් අද (06) පාර්ලිමේන්තුවේ දී ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා විසින් නඟන ලද වාචික අතුරු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මෙයට පිළිතුරු ලබා දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා පවසා සිටියේ, ජීව විද්‍යා විෂය නිර්දේශය සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පැවරූ පමණින් ගැටලුවක් තිබේ යැයි අදහස් කළ නොහැකි අතර විශේෂයෙන් ම අධ්‍යාපනය නවීකරණය වනවිට විෂය නිර්දේශය වෙනස් බවයි.

2015 බලයට පැමිණෙන විට විෂය නිර්දේශ සැකසීමට යම් යම් ගුරුකුල හදාගෙන සිටි බවත්, ඇතැමුන් විෂය නිර්දේශ යාවත්කාලීන නොකර ටියුෂන් පංතියට අවශ්‍ය ලෙස සැකසූ බවත් අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නා.

"ප්‍රශ්න පත්‍ර 5 ක් විතර ගත්තාම අපි දන්නවා එන ප්‍රශ්න මොනවාද කියලා. දැන් මේවා ඔක්කොම වෙනස් කර ගෙන යන්නේ. එතකොට මේ විෂය සම්බන්ධයෙන් නෙවෙයි, ජනමාධ්‍ය විෂය සම්බන්ධයෙනුත් ප්‍රශ්න ආවා. එතකොට එක මහාචාර්යවරයෙක් ගෙන් සැදුම්ලත් කමිටුවක් මගින් ප්‍රශ්න පත්‍ර හදද්දී තව කණ්ඩායමක් කියනවා ඒක නෙවෙයි අරකයි එන්න ඕනේ කියලා. ඒ වගේ විවිධ මත සහ විවිධ දේවල් තියෙනවා.” යනුවෙන් පැවසූ අමාත්‍යවරයා, දැන් ඒ ආකාරයට විෂය නිර්දේශ සකස් නොකර විෂය නිර්දේශ වෙනස් කිරිමට කටයුතු කරන බව ප්‍රකාශ කළා.

වෙනස්කම් කරනවිට ඒ වෙනස්කම් කරගෙන යායුතු බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා, ඇතැම් ගුරුවරු නවීකරණයට අකමැති බවත් සඳහන් කරමින් "ඉක්මනින් දැනුම වෙනස් වෙනවා. ඇත්තටම 1900 වෙද්දී දැනුම දෙගුණයකින් වෙනස් වෙන්න අවුරුදු 100 ක් ගත වුනත් 1945 දෙවන ලෝක යුද්ධය වෙද්දී දැනුම දෙගුණයකින් වෙනස් වෙන්න ගත වුණේ අවුරුදු 25 යි. අද මේ තාක්ෂණයත් එක්ක නවීන ලෝකයට යනකොට දැනුම දෙගුණයක් වෙන්න ගත වන්නේ මාස 13 යි" යනුවෙන් ප්‍රකාශ කරමින් තමන් විශ්වවිද්‍යාලයට යන කාලයේ පැරණ සටහන් ඉගැන්වූ ආකාරය සිහිපත් කරමින් ජීව විද්‍යාව විෂයේ සිට සියලුම විෂයයන් වෙනස් වියයුතු බව සඳහන් කළා.

එමෙන් ම ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රීය සභාවේ සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ එක්සත් ජාතික පාක්ෂිකයෙක් නොවන මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා බවත්, ඔහු එලෙස පත්කළේ අලුතින් හිතන, කවුරුත් පිළිගන්න, අපි බලාපොරොත්තුවන ආකාරයට අධ්‍යාපනයේ වෙනස්කම් කරන්න පුළුවන් කෙනෙක් නිසාවෙන් බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පෙන්වා දුන්නා.

ජීව විද්‍යා විෂය සම්බන්ධයෙන් පවතින ගැටලුව නිරාකරණය කර ඇති අතර ටියුෂන් වලට ඕනෑ ආකාරයට හෝ ගුරුවරුන් ට ඉගැන්වීමේ පහසුව වෙනුවෙන් විෂය නිර්දේශ සැකසීම නොකරන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළා.

"ගුරුවරුන් හිතනවා අපි හැමදාම උගන්නපු එක ලේසියි. ඒක නිසා අපිට මේක ගැටලු සහගතයි. ඒක නිසා අපි පරණ එකම දාන්න ඕනේ කියලා. දින වකවානු එක්ක අපි දීලා තියෙනවා. කවද්ද අපි මාර්ගෝපදේශනය දුන්නේ, කවද්ද බෙදාහැරියේ, කවද්ද ඒවා පුහුණු කළේ කියලා. " යනුවෙන් ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පෙන්වා දුන්නා.

Search