නවතම පුවත්

දහතුන් වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහනට අලුතින් ගුරුවරුන් 5000ක් ...

 

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සමත් - අසමත්භාවය නොසලකා සෑම සිසුවෙකුට ම වසර දහතුනක අඛණ්ඩ පාසල් අධ්‍යාපනයක් හිමිකර දෙන 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන සඳහා තවත් ගුරුවරුන් පන්දහසක් අලුතින් බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනී.

මෙම ගුරුවරුන් බඳවා ගැනීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන්කරන ලද බව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ට දැනුම් දී ඇත.

2020 වර්ෂය සඳහා නොමිලේ පෙළපොත් බෙදාහැරීමේ සමාරම්භක උත්සවයේ දී අමාත්‍යවරයා අද (2019-08-16) ඒ බව ප්‍රකාශ කළේය.

මෙම වෘත්තීය ප්‍රවේශයක් සහිත නව අධ්‍යාපන වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස මීට පෙර ගුරුවරුන් 1500ක් බඳවා ගන්නා ලද බවත් අමාත්‍යවරයා පැවසීය.

2017 වසරේ සිට ක්‍රියාත්මක වන මෙම උසස් පෙළ වෘත්තීය විෂයධාරාව යටතේ සිසුන්ට නවලොව රැකියා වෙළඳපොල ජයගත හැකි වෘත්තීය විෂයයන් 26ක් හඳුන්වා දී තිබේ.

ඔවුන්ගේ රැකියාගත පුහුණු කාලසීමාවේ දී දෛනිකව රුපියල් 500/- දීමනාවක් ගෙවීමට ද අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

Search