නවතම පුවත්

අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා ශික්ෂණලාභීන් ලෙස 8,000ක් ඇතුළත් කරගැනීම එක් දිනකදී

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට අධ්‍යයන වර්ෂ දෙකක් සඳහා ශික්ෂණලාභීන් ලෙස 8,000ක් එක් දිනක දී ඇතුළත් කරගැනීම මෙම මස 25 වෙනිදා සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

තෝරාගන්නා ලද සියලුම අයදුම්කරුවන්ට මෙම මස 20 වෙනිදාට පෙර ඒ සම්බන්ධයෙන් තැපැල් මගින් දැනුවත් කිරීමට ද නියමිතය.

2016 හා 2017 යන වර්ෂවල අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵල මත අධ්‍යයන කණ්ඩායම් දෙකක් වශයෙන් විද්‍යාපීඨ 19 සඳහා මෙම අටදහස ම එක් දිනක දී බඳවා ගැනේ.

ඒ අනුව 2016 උසස් පෙළ ප්‍රතිඵල මත බඳවා ගන්නේ 2018/2020 අධ්‍යයන වර්ෂය සඳහා වන අතර 2017 උසස් පෙළ ප්‍රතිඵල අනුව බඳවා ගනු ලබන්නේ 2019/2021 අධ්‍යයන වර්ෂය සඳහා කණ්ඩායමයි.

අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන් 2019 ජනවාරී 25 වැනිදා අංක 2018 දරන ගැසට් නිවේදනයට අනුව බඳවා ගැනීමට නියමිත සංඛ්‍යාවෙන් තුන් ගුණයක සංඛ්‍යාවක් සම්මුඛ පරීක්ෂණයට කැඳවා මෙම අධ්‍යයන වර්ෂ දෙක සඳහා ශික්ෂණලාභීන් ලෙස 8,000ක් තෝරා ගෙන ඇත.

සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටි අයදුම්කරුවන්ගෙන් නියමිත සංඛ්‍යාව තෝරා ගැනීමේ සංකීර්ණ ක්‍රියාවලිය ඉතා නිවැරදිව හා ක්‍රමවත්ව සිදුකිරීම සඳහා වඩා වැඩි කාලයක් ගතකරමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ විද්‍යාපීඨ ශාඛාව මෙම කණ්ඩායම තෝරාගෙන ඇත.

ශික්ෂණලාභීන් ලෙස 8,000ක් වැනි විශාල සංඛ්‍යාවක් බඳවා ගෙන අධ්‍යයන වර්ෂ දෙකක කටයුතු එකවර සිදුකෙරෙන්නේ විද්‍යාපීඨ ඉතිහාසයේ ප්‍රථමවරටය.  එම නිසා විද්‍යාපීඨ තුළ මේ ශික්ෂණලාභීන්ට  අවශ්‍ය සියලුම පහසුකම් ලබා දී ඔවුන්ගේ අධ්‍යයන කටයුතු සාර්ථක කරගැනීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

Search