නවතම පුවත්

දේශපාලන බලය හෝ ජනප්‍රියත්වය වෙනුවෙන් නොව රට ගැන සිතා නොබියව තීන්දු තීරණගැනීමේ ආදර්ශය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමාගේ චරිතයෙන් පැහැදිලි වෙනවා. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

10
ජනතා අවශ්‍යතාවයන් ඉටු කරමින් රට සංවර්ධනය කරා ගෙනයාමේදී දේශපාලන බලය හෝ ජනප්‍රියත්වය ගැන නොසිතා රට වෙනුවෙන් නොබියව ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීමේ ආදර්ශය ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමාගේ චරිතයෙන් මනාව පැහැදිලි වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා.

ඒ අද (13) දිනට යෙදී ඇති ශ්‍රී ලාංකීය නිදහස් අධ්‍යාපනයේ නිර්මාතෘ ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිඳුන්ගේ 132 වන ජන්ම දින සැමරුම වෙනුවෙන් නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවති ජාතික උත්සවයට එක්වෙමින්.
යටත් විජිත සමයේ ප්‍රභූ පැළැන්තියේ දරුවන්ට පමණක් සීමා වී තිබූ අධ්‍යාපන අවස්ථා පහළ පංතියේ දරුවන්ට ද හිමි කර දෙමින් සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා ආරම්භ කළ නිදහස් අධ්‍යාපන ක්‍රියාදාමය මගින් මෙරට සමාජ, ආර්ථික හා සංස්කෘතික ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වෙනස්කම් රාශියක් ඇති වි ය. පළමු ශ්‍රේණියේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා නොමිලේ අධ්‍යාපන අවස්ථාවන් ලබාදීමටත්, අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සඳහා ශිෂ්‍යාධාර ක්‍රමයක් ආරම්භ කිරීමටත්, ග්‍රාමීය මට්ටමින් අංග සම්පූර්ණ පාසල් පද්ධතියක් නිර්මාණය කිරීමටත් කන්නන්ගර චින්තනය මගින් සිදු කෙරුණා.

නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවති සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිඳුන්ගේ 132 වන ජන්ම දින ජාතික උත්සවයට සමගාමීව අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට කන්නන්ගර මැතිඳුන්ගේ පිළිරුව අභියස ගුණ සමරු වැඩසටහනක් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.රාධක්‍රිෂ්ණන් සහ අධ්‍යාපන රාජ්‍ය ලේකම් තිස්ස හේවාවිතාන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (13) පැවැත්වුණ අතර සවස 2.00 ට ජාතික අධ්‍යාපන ආයතනයේ මේ පිළිබඳ සමරු වැඩසටහනක් ද පැවැත්වූණා. නිදහස් අධ්‍යාපනය හඳුන්වාදීම තුළින් කන්නන්ගර මැතිඳුන්ගෙන් සිදු වූ සේවය අගයා දිවයිනේ සියලුම පාසල්වල සමරු වැඩසටහන් අද උදෑසන පවත්වනු ලැබුවා.

නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයේ සෞන්දර්ය ගොඩනැගිල්ල සහ ආපන ශාලාව ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම ද මෙහිදී අධ්‍යාපන අමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි ඇතුලු අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් හා පළාත් අධ්‍යාපන නිලධාරීන් පිරිසක් මෙම උත්සව අවස්ථාවට එක්ව සිටියා.

Search